සුරේෂ් සලේගේ රිට් පෙත්සමේ කරුණු සලකා බැලීම කල්යයි
June 4, 2026 05:28 pm
විවෘත වරෙන්තු ලබා විදේශයක සරණාගතයෙකු වශයෙන් ජීවත් වන අසාද් මවුලානා නැමැති පුද්ගලයා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයක් මත රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානීන් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීම මුළුමනින්ම නීතියට පටහැනි බව ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව අවධාරණය කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.
එහිදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවේ පසුවන පෙත්සම්කාර සුරේෂ් සලේ නමැත්තා පරීක්ෂාවට ලක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තාව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව පැවසුවේය.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරත්න මහතාගේ මෙහෙයවීම මත වෛද්‍ය මණ්ඩලයක් විසින් එම වාර්තාව ඉදිරිපත් කර තිබෙන බවත් එම වාර්තාවට අනුව පෙත්සම්කරු වධ හිංසනයට හා අමානුෂික සැලකීම්වලට භාජනය වී තිබෙන බව සඳහන් කොට ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
"ස්වාමීනි මේ පුද්ගලයා රඳවා ගෙන තිබෙන්නේ අඩි හයයි හතරේ කාමරයක. එම කාමරයට නිසියාකාර වාතාශ්‍රයක් නෑ. හිරු එළිය දකින්නට නෑ. පවුලේ ඥාතීන් හමුවීමට අවස්ථාවක් නෑ." යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු බරපතළ මානසික ආතතියකට ලක්ව තිබෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය දිවි නසා ගැනීමේ දරුණු අවධානමකට මුහුණ පා සිටින බවට වෛද්‍ය වාර්තාව මගින් කරුණු දක්වා තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ පෙත්සම්කරු වධහිංසාවට භාජනය වූ බවට චෝදනා එල්ල කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාව තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත් මෙම අධිකරණයට ඒ සම්බන්ධයෙන් සැලකිල්ලට භාජනය කළ නොහැකි බවත් පැවසුවාය.
ඉන් අනතුරුව වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විවෘත වරෙන්තු ලබා සරණාගතයෙකු වශයෙන් විදේශගතව සිටින අසාද් මවුලානා නැමැත්තෙකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ලබාදුන් සාකච්ඡාවක් මත මෙම විමර්ශනය ආරම්භ කිරීම පිළිගත නොහැකි බව පැවසුවේය.
මෙම අසාද් මවුලානා නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගොස් ඔහු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීම ගැටලු සහගත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා විවෘත වරෙන්තු ලබා සිටින එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට කටයුතු නොකළේ ඇයිදැයි ප්‍රශ්න කර සිටියේය.
ඉන් අනතුරුව මෙම පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 11 වනදා දක්වා කල් තැබීමට ද අධිකරණය නියම කළේය.
