ශ්‍රී ලංකා - බ.ඉ. කොදෙව් පළමු එක්දින තරගය අද
June 3, 2026 02:33 pm
ශ්‍රී ලංකා කණ්ඩායමේ බ.ඉ. කොදෙව් සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් අද (3) රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය.
කුසල් මෙන්ඩිස් යළි නායකත්වයට පත්වීම මෙන්ම නව ක්‍රිකට් පරිවර්තන කමිටුව හා නව තේරීම් කමිටුව පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරගාවලිය මෙය වේ.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත්කළ ගැරී කර්ස්ටන්ගේද පළමු අභියෝගයද මෙයයි.
ශ්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව්වන් අතර මේ දක්වා එක්දින තරගාවලි 10ක් පවත්වා ඇති අතර, ඉන් තරගාවලි 6කම ජය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටය.
බ.ඉ. කොදෙව්වන්ට තරගාවලි 3ක ජය හිමිවෙද්දී, එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
අවසන්වරට දෙරට 2024 වසරේ එක්දින තරගාවලියක් පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාවේදී පැවති මෙම තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව අද තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම
පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් (නායක), පවන් රත්නායක, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මිලාන් රත්නායක, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු
