එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ජ්‍යේෂ්ඨ නියෝජිතයින් අධිකරණ ඇමති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ජ්‍යේෂ්ඨ නියෝජිතයින් අධිකරණ ඇමති හමුවෙයි

June 2, 2026   08:57 pm

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, මෙරට සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ සභාපති Rein Tammsaar මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද (02) අධිකරණ අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙහිදී ළමුන් සම්බන්ධ නීතිමය ප්‍රතිසංස්කරණ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ දරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමේ ක්‍රමවේද, ළමා සහ යෞවන ආඥා පනත, මෙන්ම ළමුන් සම්බන්ධ නඩු කඩිනම් කිරීම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු වී ඇත.

අමාත්‍යවරයා සඳහන් කළේ, අපරාධ නීති විධිවිධාන සංග්‍රහයට සිදුකළ සංශෝධන අනුව අධිකරණ නඩු විභාගවලදී දරුවන්ට වීඩියෝ තාක්ෂණය මඟින් සාක්ෂි ලබාදීමේ හැකියාව සලසා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විනිසුරුවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

එමෙන්ම, ළමා නීති පිළිබඳ දැනුම විනිසුරු පුහුණු ආයතනයේ වැඩසටහන්වලට සහ ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ හි විෂය මාලාවට ඇතුළත් කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ දරුවන්ට සාක්ෂි ලබාදීම සඳහා අවශ්‍ය විශේෂ කාමර පහසුකම් මේ වන විට නුවර අධිකරණයේ ස්ථාපිත කර ඇති අතර, එම පහසුකම් අනෙකුත් අධිකරණ වෙත ද ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

නඩු ප්‍රමාදය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අධිකරණ පද්ධතියට අදාළ ආයතනවල පවතින පුරප්පාඩු එයට ප්‍රධාන හේතුවක් බවත්, ඒ සඳහා විසඳුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා Sophia Tesfamariam, Anna Jóhannsdóttir, Alejandra Hernandez Gonzalez, Claudio Silvio Nardi, Andres Franco සහ Natalie Leston යන නියෝජිතයෝ ද එක්ව සිටියහ.