ආසියානූ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටුනායකට

ආසියානූ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටුනායකට

June 2, 2026   10:32 am

චීනයේ හොංකොං හි පැවති 22 වැනි ආසියානූ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද(02) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා ගෙන එහි පදක්කම් සටහනෙහි 08 වන ස්ථානය හිමි කර ගෙන තිබේ.

එහිදී තරුෂි අභිෂේකා මීටර් 1,500 ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් ව තිබේ.

ඊට අමතරව රන්සිනි පෙරේරා මීටර් 200 ඉසව්වෙන් වසර 32කට පසුව රන් පදක්කමක් දිනා ගැනීමට සමත් ව ඇත.

එසේම උස පැනීමේ ඉසව්වෙන් තරූෂ මෙන්ඩිස් රිදී පදක්කමක් සහ නෙත්සර දිනෙත් මීටර් 800 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය.

මේ අතර, සදෙව් රාජකරුණා මීටර් 200 ඉස්ව්වෙන් , මිහින්සා අබේරත්න කාන්තා උස පැනීමේ ඉසව්වෙන්ද, තරුෂි අභිෂේකා මීටර් 800 ඉසව්වෙන් සහ මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .