කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ

May 30, 2026   12:41 pm

ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුලු ප්‍රදේශ 100 පමණ අද (30) විදුලිය විසන්ධි කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය. පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බව හෙතෙම සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අද දිනයේ පවතින අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ගැනීමට සිදුවූ බවය.

කෙසේ වෙතත් විදුලිය විසන්ධි කර ඇති ප්‍රදේශවල විදුලි සැපයුම යථා  තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පසුගිය දවස්වල තිබූ වැහිබර කාලගුණය නිසා අපි බලාපොරොත්තු වුණා සෝලාවලින් එන විදුලිය තරමක් අඩුවෙන් කියලා. නමුත් අද දවසේ ඉතා හොඳින් සූර්යාලෝකය ලැබුණ නිසා බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් සෝලාවලින්, ජාතික පද්ධතියට එකතු වුණා. මේකත් එක්ක බොහෝ ස්ථානවල ඉල්ලුමට වඩා සැපයුම වැඩිවුණා.

ඒ තත්ත්වය තුළ පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාමට ගැටලු මතු වුණා. ඒ අනුව පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාමේ අරමුණින්, ඉල්ලුමට වඩා සැපයුම වැඩි, ස්ථාන 100කට ආසන්න ප්‍රමාණයක මේ වනවිට විදුලිය කපා හැරීමක් සිද්ධ කරනවා. 

එහිදී අපි බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් ඉක්මනින් ජනනයේ තියෙන ස්ථායීතාව, ඉල්ලුමට සරිලන ලෙස සැපයුම හදාගන්න. හවස 3 විතර වෙනකොට මෙය යථා තත්ත්වයට පත්කරගන්න පුළුවන් වෙයි.

මේ විදියට විදුලි කපා හැරීමක් කරන්නේ නැතුව ඉදිරියට පවත්වාගෙන ගියොත් විශාල විදුලි බිඳවැටීමකට ලක්වෙන්න වෙන්න පුළුවන්. අපි හිතනවා හවස 2, 3 වෙනකොට යථා තත්ත්වයට ගේන්න හැකිවෙයි කියලා.

එනිසා ගෘහස්ථ සෝලාර් විසන්ධි කර තිබීමේ පද්ධතියේ ස්ථායීතාව ගේන්න අපට ලොකු පහසුවක්. 

"බස්නාහිර පළාතේ තමයි රූෆ් ටොප් සෝලා ගොඩක් තියෙන්නේ. ඒ නිසා බස්නාහිර පළාත තුළ තමයි මේ තත්ත්වය පැනනැගිලා තියෙන්නේ. 

කළුතර, පානදුර වගේ කලාප කිහිපයකත් මේ ප්‍රශ්නය පැනනැගිලා.  තියෙන්නේ, අද නිවාඩු දවසක් නිසා ඉල්ලුම අඩුයි සැපයුම වැඩියි. ඒ නිසා පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාමට ප්‍රදේශ කිහිපයක කෙටි කාලයකට විදුලිය විසන්ධි කර තිබෙනවා. 

සෝලාවලින් විතරක් අරගෙන මේවා කරනකොට තමයි මේ ප්‍රශ්නය එන්නේ. මේක කරේ නැත්නම් ලොකු බ්ලැක්අවුට් (Blackout) එකකට යන්න ඉඩ තියෙනවා. ඒ තත්ත්වයට යන එක වළක්වා ගන්න තමයි මේ විදිහට කරන්නේ" යැයි පැවසීය.

විදුලි ඉල්ලුම අඩුවීමත් සමග පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා වහලය මත සවිකර ඇති සූර්ය පැනල අද (30) ප.ව. 3 තෙක් ක්‍රියා විරහිත කර තබන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමද සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.