වසරේ මේ දක්වා සංචාරක පැමිණීම දස ලක්ෂය ඉක්මවයි
May 29, 2026 05:28 pm
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන දස ලක්ෂය ඉක්මවා තිබේ.
ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ඊයේ (28) දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,010,807 ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
මේ අතර මැයි මාසය ආරම්භයත් සමග මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන 134,530ක් බවද එම අධිකාරිය සඳහන් කර තිබේ.
මැයි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් අතුරින් වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 56,063ක් වේ.
දෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 8,582ක් ලෙසද සටහන් වී තිබේ.
තෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංචාරකයින් ගණන 8,439කි.
මේ අතර වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර එම අගය 245,981කි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 97,427ක් සහ රුසියාවෙන් සංචාරකයින් 75,963ක්ද මෙරටට පැමිණ ඇත.
එමෙන්ම වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් ප්රමාණයක් පමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර එම අගය 277,327ක් ලෙසට සටහන් වී ඇත.
ජනවාරි සිට මේ දක්වා සංචාරක පැමිණීම අනුව ගත්විට පෙබරවාරි මාසයෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයින් ගණන කෙමෙන් කෙමෙන් යම් අඩුවීමක් වාර්තා වී ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.
