ජගත් පරිසර දිනයට අදාළ ජාතික පාරිසරික සතිය හෙටින් ඇරඹේ 

ජගත් පරිසර දිනයට අදාළ ජාතික පාරිසරික සතිය හෙටින් ඇරඹේ 

May 29, 2026   02:19 pm

ජගත් පරිසර දිනයට අදාළ ජාතික පාරිසරික සතිය හෙටින් (30) ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව හෙට දින සිට ජුනි 05 වැනි දින දක්වා ජාතික පරිසර සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එම සතිය තුළ ආකල්ප වර්ධනය, පවිත්‍රතාවය, වායු දූෂණ පාලනය, ජෛව විවිධත්වය සුරැකීම, ජල සංරක්ෂණය සහ වෙරළ පවිත්‍ර කිරීම වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දිනපතා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ "දලුලන්න ඉඩදෙන්න" තේමාවෙන් යුත් ජගත් පරිසර දින ජාතික සැමරුම එළැඹෙන ජුනි 05 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවය.

මෙවර ජගත් පරිසර දිනයේදී ද"Urgent Climate Action"- කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය- යන ගෝලීය තේමාවට සමගාමීව, ශ්‍රී ලංකාව "තිරසර ජෛව ගෝලයක් - සදාහරිත ජීවිතයක්" යන දැක්ම පෙරදැරිව "දලුලන්න ඉඩදෙන්න" නමින් ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් රට පුරා ක්‍රියාවට නංවයි. 

මෑතකදී ඇති වූ 'දිට්වා' සුළි කුණාටු ව්‍යසනයෙන් ලද අත්දැකීම් පාදක කරගනිමින්, මධ්‍යම කඳුකරයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කර අනාගත දේශගුණික කම්පනවලට ශක්තිමත්ව මුහුණ දිය හැකි  පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු වී තිබේ. 

මෙම සතිය යටතේ ආගමික සංකල්ප තුළින් පරිසර සංරක්ෂණය සඳහා දායකත්වය යන තේමාවෙන් සිදු කරනු ලබන අටවිසි බෝධි වෘක්ෂ බෙදාදීමේ වැඩසටහන පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මල්කෝන, පෙතියාගොඩ, ශ්‍රී වාපිකාරාමයේ දී හෙට දින උදෑසන 9.30 ට ආරම්භ වීමට නියමිතව ඇත. 

ජූනි 1 වන දින දේශගුණ විපර්යාස හා වායු දූෂණයේ බලපෑම තේමාව කරගනිමින් සිදු කරනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහනක් පරිසර අමාත්‍යංශයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ජෛව විවිධත්ව සංරක්ෂණය තේමාව කරමින් සිදු කරනු ලබන දියවන්නා ඔය රැක ගැනීම සම්බන්ධව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මිලදී ගන්නා ද පළමු වාහන තොගය (ට්‍රැක්ටර් රථ) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමද පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

ජල හා ජල මූලාශ්‍ර සංරක්ෂණ තේමා කරගනිමින් සිදු කරනු ලබන හම්බන්තොට දිස්ත්‍රික් ජල සම්පත් මණ්ඩල කාර්යාලය විවෘත කිරීමේ වැඩසටහන ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීත්, රිදියගම සමනල උයන විවෘත කිරීම සහ වෙබ් අඩවිය දියත් කිරීම රිදියගම සෆාරි උද්‍යානයේ දී සිදු කිරීමට නියමිතව තිබේ. 

වීරකැටිය කුඩා බුබුළ දිය උල්පත සංරක්ෂණය කිරීම සඳහා සිදු කරනු ලබන නිරීක්ෂණය මෙන්ම වීරකැටිය ජල සායනය මගින් ප්‍රදේශයේ ජලයේ ගුණාත්මකභාවය සායනිකව තහවුරු කර ඒ පිළිබඳ වාර්තා බෙදා දීම හා දැනුවත් කිරීමේ වැඩසටහන ජූනි මස 3 වන දින පැවැත්වීමට ද නියමිත අතර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය උද්භිද උද්‍යානය පල්ලෙකැලේ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන ඖෂධීය පැළ ප්‍රදර්ශනය සහ Electric Cart ලබා දීමේ වැඩසටහන ජූනි 4 වන දින පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දී ද පැවැත්වීමට නියමිතය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී ශ්‍රී ලංකා ඒ්කාබද්ධ ජල තාක්ෂණ පර්යේෂණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානය (JRDC)  එක්ව සිදු කරන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ වැඩසටහන එදිනම පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර 2025 වසරේ ජගත් පරිසර දිනයෙන් ආරම්භ කරන ලද දලුලන්න ඉඩදෙන්න ජාතික වැඩසටහන ඔස්සේ ආරම්භ වූ වනස්පති ජාතික වැඩසටහන යටතේ මේ වසර වන විට රක්ෂිත ලෙස ගැසට් කෙරුණු වැඩිම රක්ෂිත ප්‍රමාණය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

හෙක්ටයාර හැටතුන්දහසකට වැඩිප්‍රමාණයකින් යුතු වනාන්තර 81ක ප්‍රමාණයක් මේ වන විට රක්ෂිත ලෙස ආරක්ෂා කර ඇති අතර ජගත් පරිසර දිනයට සමගාමීව වනාන්තර 5ක් රක්ෂිත ලෙස ආරක්ෂා වන බවද පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.