අලි ඇතුන් සහ දිවියන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ අවධානය

අලි ඇතුන් සහ දිවියන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ අවධානය

May 29, 2026   12:54 pm

දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සහ දිවියන්ට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් පවත්වා තිබේ. 

ඒ, එම සංසදය එහි සභාපතිවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදීය. 

මෙහිදී එල්-නිනො සහ ලා-නිනෝ දේශගුණික තත්ත්වයන්, අලි ඇතුන් සහ දිවියන්ගේ ජීවන රටාවට ඇති කරන බලපෑම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරිණි. 

මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරුණු පැහැදිලි කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 

දේශගුණික විපර්යාස හේතුවෙන් වනජීවීන්ට සිදුවන බලපෑම් පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන බවත්, එහි පළමු පියවර ලෙස අලි ඇතුන් සහ දිවියන් සම්බන්ධ ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේ.

තවද, මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් අධ්‍යයනයක් සිදු කර අදාළ පාර්ශ්වයන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත්  පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා දේශගුණික විශේෂඥයින් සහ පරිසරවේදීන් ද සහභාගී වී සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ. 

මිනිස් – අලි ගැටුම් අවම කිරීම ඇතුළු වනජීවී ආරක්ෂාවට අදාළ කරුණු රැසක් ද මෙහිදී සාකච්ඡා කළ බව වැඩිදුරටත් සඳහන්ය.