නවසීලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විවෘත කෙරේ
May 29, 2026 11:14 am
නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ නව මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් විවෘත කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ නවසීලන්ත නිල සංචාරයට සමගාමීව ඊයේ (28) මෙම කාර්යාලය විවෘත කර ඇත.
එමඟින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය. අවස්ථාවට නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් ද විශේෂ ආරාධිතයෙකු ලෙස එක්ව සිටියේය.
දෙරටේම සංස්කෘතික සම්ප්‍රදායන්ට අනුව, ශ්‍රී ලාංකීය ආගමික වතාවත් සහ නවසීලන්තයේ සාම්ප්‍රදායික 'මාවෝරි' ආශිර්වාද මධ්‍යයේ සමාරම්භක උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාව අමතමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතාවල නව පරිච්ඡේදයක ආරම්භයක් සනිටුහන් කරන බවය.
මෙම සුවිශේෂී අවස්ථාවට නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නවසීලන්තයේ වෙසෙන විදේශීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මෙන්ම එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.
නව මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම තුළින් නවසීලන්තයේ වෙසෙන 30,000කට අධික ශ්‍රී ලාංකිකයින්ට වඩාත් කාර්යක්ෂම කොන්සියුලර් සේවාවක් සැපයීමටත්, දෙරට අතර වෙළඳ, අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්රයන් ප්‍රවර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරේ.
