ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

May 28, 2026   04:29 pm

ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ යොමු කර රියදුරන් මුලාකර මුදල් සහ පෞද්ගලික දත්ත වංචා කිරීමේ සයිබර් ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) විසින්  මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මාර්ගවල සවි කර ඇති CCTV කැමරා මඟින් රථවාහන වැරදි හඳුනාගෙන ඇති බව පවසමින්, පොලීසිය ලෙස හැඟෙන ආකාරයට ව්‍යාජ කෙටි පණිවුඩ (SMS) සහ WhatsApp පණිවුඩ යොමු කර මෙම වංචාව සිදු කරන බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මෙම ව්‍යාජ පණිවුඩ ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කරන ලද නිල දැනුම්දීම් ලෙස පෙනී යන අයුරින් සකස් කර ඇති අතර, ව්‍යාජ දුරකථන අංක සහ සබැඳි භාවිත කරමින් ජනතාව වෙත යොමු කරන බවට අනාවරණය වී ඇත.

අදාළ සබැඳි මඟින් පරිශීලකයින් ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරමින් රථවාහන දඩ මුදල් ගෙවන ලෙස උපදෙස් ලබා දෙන අතර, එම වෙබ් අඩවි රජයේ නිල GovPay ගෙවීම් පද්ධතියට බෙහෙවින් සමාන ලෙස නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

මෙවැනි වෙබ් අඩවිවලට පිවිසීමෙන් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් තොරතුරු, OTP කේත, ජාතික හැඳුනුම්පත් තොරතුරු ඇතුළු සංවේදී පුද්ගලික දත්ත වංචාකරුවන් සතු වීමේ අවදානමක් පවතින බවද එම ආයතනය අවධාරණය කරයි.

ඒ අනුව, SMS හෝ WhatsApp මඟින් ලැබෙන සැකකටයුතු සබැඳි මත ක්ලික් කිරීමෙන් වළකින ලෙසත්, දඩ මුදල් ගෙවීමට පෙර වෙබ් අඩවියේ නිලභාවය තහවුරු කරගන්නා ලෙසත් මහජනතාවට උපදෙස් ලබාදී තිබේ.

තවද, රථවාහන දඩ මුදල් GovPay පද්ධතිය හරහා ගෙවිය යුත්තේ පොලිස් නිලධාරියෙකු විසින් නිල දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමෙන් පසුව පමණක් බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සිහිපත් කරයි.