ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල යළිත් ඉහළට
සයුරෙන් එතෙර

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල යළිත් ඉහළට

May 28, 2026   11:32 am

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු ඇගවීම් හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව විදෙස් වාර්තා සඳහන් කළේ, බොරතෙල් මිල යළි සියයට 3කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 3.75කින් ඉහළ ගොස් ඩොලර් 97.8ක් ලෙස සටහන්ව ඇති බව සඳහන්.

අමෙරිකාව සහ ඉරානය සාකච්ඡා සඳහා යොමුවීමේ සූදානමක පසුවූ අවස්ථාවක මෙලෙස යළි දෙපාර්ශවය අතර ගැටුම්කාරී වාතාවරණයක් හටගෙන ඇති අතර අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අද අලුයම් කාලයේ ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකාවේ කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කර තිබුණි.

ඉරානය විසින් කුමන රටක පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළේ ද යන්න නිශ්චිතව දක්වා නොමැති නමුත්  කුවේට් ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර කිහිපයක් වැළැක්වීමට කටයුතු කළ බවයි.