හයිද්‍රාබාද් පරදා රාජස්තාන් අවසන් සටනට ළංවෙයි
May 27, 2026 11:50 pm
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් වටයේ දෙවන තරගයෙන් (Eliminator) සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදා විශිෂ්ට ජයක් ලැබීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.
නව චන්දිගාර්හිදී අද (27) පැවැත්වුණු මෙම තරගයේ ජයග්‍රහණයත් සමගින් තරගාවලියේ ඉදිරි බලාපොරොත්තු රඳවා ගැනීමට ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්තාන් කණ්ඩායම සමත් වී තිබේ.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 243ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.
රාජස්ථාන් ඉනිමේ කැපී පෙනෙනම පිතිකරණය දියත් කළ වයිභව් සූර්යවංශි, සන්රයිසර්ස් පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පාවකින් තොරව ප්‍රහාර එල්ල කළේය.
ඔහු පන්දු 29ක් පමණක් මුහුණ දෙමින් ලකුණු 97ක් රැස් කිරීමට සමත් වූ අතර, ඔහුගේ එම ප්‍රවේගකාරී ඉනිමට හයේ පහර 12ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය.
මෙහිදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එශාන් මාලිංග නියෝජනය කරන සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට ලකුණු 244ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට රාජස්තාන් පන්දු යවන්නන් හමුවේ නොහැකි විය.
ඔවුන්ගේ සියලුම පිතිකරුවන් පන්දුවාර 19.2ක් තුළ ලකුණු 196කට සීමා කිරීමට රාජස්ථාන් පන්දු යවන්නන් සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමගින් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම තරගාවලියේ මීළඟ තීරණාත්මක තරගය 'Qualifier-2'සඳහා සුදුසුකම් ලබාගත්තේය.
එම තරගය මැයි 29වැනිදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.
එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම දැනටමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු (RCB) සමඟින් අහ්මදාබාද්හිදී මෙවර ශූරතාව වෙනුවෙන් තරග වදිනු ඇත.
