රථවාහන දඩ මුදල් වංචාවක් ගැන මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
May 27, 2026 09:57 pm
රථවාහන වැරදි සිදු කරන රියැදුරන් CCTV දර්ශන මඟින් හඳුනාගත් බවට හඟවමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් යොමු කරන ලෙස හැඟී යන ආකාරයට මේ දිනවල එම රියැදුරන්ට ව්‍යාජ දුරකථන අංක කිහිපයකින් SMS හා Whatsapp පණිවිඩ යොමු කිරීමේ සිද්ධීන් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය අංශ පවසයි.
මෙලෙස යොමු කරන ලද පණිවිඩය කියවීමෙන් පසුව අදාළ වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට https://thecourierguy.cu.cc/lk දරණ ව්‍යාජ වෙබ් අඩවියට පිවිසෙන ලෙස දන්වනු ලබයි.
එයට පිවිසෙන රියැදුරන්ට දඩ මුදල ගෙවීම සඳහා බවට හඟවමින් වෙබ් අඩවියේ සැකසුම ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට සලස්වා ඒ හරහා එම පුද්ගලයාගේ ණය කාඩ්පත් තොරතුරු ඇතුළු වෙනත් තොරතුරු ඉතා සූක්ෂමව මෙම වංචාකරුවන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවට ද වැඩි දුරටත් නිරීක්ෂණය වී ඇති බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ගෙවීම් කටයුතු සිදු කිරීමේ පහසුව සඳහා නිර්මාණය කර ඇති govpay වෙබ් අඩවියට සමාන ලෙස ඉහත වෙබ් අඩවිය නිර්මාණය කර ඇති අතර, මෙය මහජනතාව නොමග යැවීමේ අරමුණින් සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වෙබ් අඩවියක් බව පොලීසිය පවසයි.
මෙමගින් ශ්‍රී ලංකා පොලීසියේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුවිය හැකි බවට නිරීක්ෂණය වන අතර ව්‍යාජ SMS හා Whatsapp පණිවිඩවල සඳහන් සබැඳි (Links) වෙත පිවිසීමෙන් වළකින ලෙසත් රථවාහන වැරදි සිදු කළ බවට ලැබෙන මෙවැනි පණිවිඩ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසටත් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවට දන්වා සිටී.
තවද, වර්ථමානයේදී ඔබ යම් රථවාහන වරදක් සිදුකිරීමෙන් පසු ඒ බවට පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දීමකින් අනතුරුව ඔබ වරද පිළිගත් විටකදී පමණක් govpay යෙදවුමෙන් දඩ පත්‍රිකාවක් ලබා ගැනීමෙන් පසු පමණක් අදාළ දඩ මුදල ගෙවීමට වග බලාගන්නා ලෙසටත් වැඩි දුරටත් දැනුම් දී තිබේ.
