ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගත් ආකාරය ගැන කෝප් කමිටුව වාර්තාවක් කැඳවයි
May 27, 2026 03:43 pm
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගත් ආකාරය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් වාර්තාවක් කැඳවා තිබේ.
ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.
එහිදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවා ගැනීමේදී, පැවති දේශපාලන අධිකාරීන්ගේ බලපෑමට යටත්ව එම පත්වීම් සිදුව ඇත්දැයි පරීක්ෂා කළ යුතු බව කාරක සභාව විසින් පෙන්වා දී ඇත.
ඇතැම් බඳවාගැනීම් සහ උසස්වීම් ලබාදීම් හේතුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් උද්ගතවී ඇති බව නිරීක්ෂණය වන බවද කාරක සභාව පෙන්වා දී තිබේ.
එසේම අධිකාරිය සතු මානව සම්පත නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කිරීමට මාස 06ක් ඇතුළත කටයුතු කරන ලෙසද කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
අධිකාරියට එරෙහිව 2023 වර්ෂයේදී සහ අධිකාරිය විසින් පවරන ලද නඩු සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.
මෙම නඩුවලට අදාළව අධිකරණයේ තැන්පත් කර ඇති මුදල් සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් කාරක සභාවේදී සාකච්ඡා කර ඇති අතර මේ පිළිබඳ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස ද කාරක සභා සභාපතිවරයා නිර්දේශ කර ඇත.
එමෙන්ම නිවාස සහ වෙළඳ සංකීර්ණයක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා විදේශීය සමාගමකට ලබාදී තිබූ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි අක්කර 01යි පර්චස් 26.5 ක ඉඩමක්, නියමිත සංවර්ධන කාර්යය ඉටු නොකර වෙනත් සමාගමකට පවරා ඇති බව කෝප් කමිටුවේ දී හෙළිදව් වී තිබේ.
පසුව දෙවන සමාගම විසින් තෙවැනි සමාගමකට 2017 වර්ෂයේදී උක්ත ඉඩමේ අංක 5 කොටස විකුණා තිබුණි.
අධිකාරිය විසින් එම විකුණුම් ඔප්පුව අවලංගු කරීම නිසා, ඊට එරෙහිව තෙවැනි සමාගම විසින් නඩු 03ක් අධිකරණය හමුවේ පවරා තිබුණු බව මෙහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන්ද කාරක සභාවේදී දීර්ඝව සලකා බලා ඇති අතර පැමිණි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ මීට අදාළව මෙම නඩුවලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක්ද පවතින බවය.
එසේම මෙම ඉඩමේ අයිතිය තවමත් අධිකාරිය සතුව පවතින බවද අදාළ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම නාවල පරංගියා කුඹුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා විය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම කොන්දේසි සහිතව සින්නක්කර ඔප්පුවක් මගින් පෞද්ගලික සමාගමකට පවරා තිබුණි.
පසුව එම සමාගම ඉඩමෙන් කොටසක් වෙනත් සමාගමකටද පවරා ඇති අතර අනෙත් කොටස, පෞද්ගලික බැංකුවකට උකස් කර මුදල් ලබාගෙන ඇති බවද සඳහන්.
මෙම ඉඩමේද ඔප්පු අධිකාරිය විසින් අවලංගු කිරීම නිසා චූදිත සමාගම, අධිකාරියට විරුද්ධව නඩු පවරා ඇත.
එසේම මෙම ඉඩම තමාගේ පෞද්ගලික ඉඩමක් ලෙස ප්‍රකාශ කරමින් අයිතිය ලබාගැනීම සඳහා පුද්ගලයෙක් විසින් අධිකරණයෙහි නඩු පවරා ඇති බවද මෙහිදී අනාවරණය වී තිබේ.
මෙම නඩු තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව ද පැමිණි නිලධාරීන් සඳහන් කර සිටියේය.
එමෙන්ම මාලිගාවත්ත මහල් නිවාසය තුළ පවත්වාගෙන යන පෙර පාසලකට අදාළ ඉඩම් කොටසක් සම්බන්ධයෙන්ද මෙම කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
