උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ විභාගය අවසන්
May 25, 2026 07:46 am
ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා පැවැත්වූ තරග විභාගය සඳහා උපාධිධාරීන් 160,000කට අධික පිරිසක් අයදුම්පත් යොමුකර තිබූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පැවති මෙම තරග විභාගය ඊයේ (24) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1048දී පවත්වනු ලැබීය.
මේ සඳහා රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් 66,991ක්, අනෙකුත් අයදුම්කරුවන් 96,442ක් ලෙස අයදුම්පත් ඉදිරිපත් කර තිබී ඇත.
ඊට අමතරව විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 323 දෙනෙකුට විභාගය සඳහා ඉදිරිපත් වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් පහසුම් සපයා තිබුණි.
2023 වර්ෂයේදී, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින්, ගුරු සේවයට බඳවා ගැනීම සඳහා තරග විභාගයක් සැලසුම් කර තිබුණද, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් නඩු 3ක් සහ අභියාචනාධිකරණයේ පැවති නඩු කටයුත්තක් හේතුවෙන් අදාළ විභාගය අත්හිටුවීමට කටයුතු කරන ලදී.
ඒ අනුව සියලු නඩු කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, දිවයින පුරා පවතින සමස්ත ගුරු හිඟයට පිළියම් සැපයීමේ අරමුණෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට මෙන්ම අනෙකුත් උපාධිධාරීන්ට ද පෙනී සිටිය හැකි ලෙස මෙවර විභාගය පවත්වනු ලැබීය.
