ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි

May 22, 2026   09:57 am

ඇද හැලෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි ලැබී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව මෙම අගයන් වාර්තා වී ඇති බවය.

එමෙන්ම මෙම වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළත් අපේක්ෂා කළ හැකි බවත් පැවසූ ඒ මහතා විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද දවස පුරා වැසි අපේක්ෂා කළ හැකි බවද සඳහන් කළේය.

එම වැසි ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100-150 ඉක්මවිය හැකි බවත් සඳහන් කළ ඒ මහතා මේ හේතුවෙන් ගංගා නිම්න ආශ්‍රිතව, පහත්බිම් ආශ්‍රිත ජනතාව සහ නායයෑම් අනතුරු ඇඟවීම් සිදුකර ඇති ස්ථාන ආශ්‍රිත ජනතාව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද දැනුම් දී සිටියේය.

තවද මෝසම් තත්ත්වය විටින් විට සක්‍රීය වීමේ හැකියාව පවතින බැවින් ඉදිරියේදීද තද වැසි අපේක්ෂා කළ හැකි බවද වැඩිදුරටත් අදහස් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ  අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.