අගමැති හරිනි, එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම් හමුවෙයි

අගමැති හරිනි, එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම් හමුවෙයි

May 21, 2026   12:44 pm

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්සත් රාජධානියේ නිල සංචාරය අතරතුර එරට විදේශ ලේකම්වරිය සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම්වරිය හමුවී තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් කවුන්සිලයේ 43 වැනි පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින අග්‍රාමාත්‍යවරිය, එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඉවෙට් කූපර්  සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම් බ්‍රිජට් පිලිප්සන්  මහත්මීන් සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වීය.

විදේශ ලේකම්වරිය සමඟ පැවති හමුවේදී, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධන කටයුතු සඳහා එක්සත් රාජධානිය ලබාදුන් සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය ස්තූතිය පළ කළාය.

එමෙන්ම දෙරට අතර වෙළඳ, ආර්ථික සහ බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීම, මානව හිමිකම් සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම සංක්‍රමණ හා අධ්‍යයන සංචලතා රාමු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ අතර අධ්‍යාපන රාජ්‍ය ලේකම්වරිය සමඟ පැවති සාකච්ඡාවේදී උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, ශිෂ්‍ය සංචලතාව, ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් සහ වෘත්තීය අධ්‍යාපන මාර්ග ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු විය.

චෙවනිං ශිෂ්‍යත්ව (Chevening Scholarships) සහ පොදුරාජ්‍ය මණ්ඩලයිය ශිෂ්‍යත්ව ක්‍රමය (Commonwealth Scholarship Scheme) යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් ශ්‍රී ලංකාවේ ධාරිතා වර්ධනයට සහ දෙරට අතර පුද්ගල සබඳතා වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති නියාමන හා ගුණාත්මකභාවය සහතික කිරීමේ පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළ අතර, ශාස්ත්‍රීය ප්‍රමිතීන් පවත්වා ගැනීම සහ සිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ අත්දැකීම් ද එරට නියෝජිතයින් විසින් හුවමාරු කරගෙන තිබේ.

මෙරට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ වෘත්තීය අධ්‍යාපන මාර්ග ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ එකඟතාවයකින් හමුව අවසන් වී ඇත.