මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළ කළඹයි
May 21, 2026 10:40 am
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සම්බන්ධ කරගනිමින් අන්තර්ජාලයට එක් වූ 'මෙලඩි' (Melody) ටොෆි පිළිබඳ වීඩියෝවක් හේතුවෙන්, ඉන්දීය කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත Parle Industries සමාගමේ කොටස් මිල අඛණ්ඩව දෙවැනි දිනටත් ඉහළ ගොස් තිබේ.
වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ, මෙම ඉහළ යාමට හේතු වූ Melody ටොෆි ඇතුළු ජනප්‍රිය ආහාර නිෂ්පාදන සිදු කරනු ලබන්නේ Parle Products සමාගම විසින් වීමය.
කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති Parle Industries සමාගම සහ මෙම ටොෆි නිෂ්පාදන සමාගම අතර කිසිදු ව්‍යාපාරික සබඳතාවයක් නොමැති අතර, එය හුදෙක් නමින් සමාන වූ වෙනත් සමාගමක් පමණක් වන නමුත් ආයෝජකයින් නමෙහි ඇති සමානකම නිසා මෙලෙස වැරදීමකින් එම සමාගමේ කොටස් මිලදී ගැනීමට පෙළඹී ඇති බව සඳහන් වේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉතාලි අග්‍රාමාත්‍යවරිය වෙත 'පාර්ලේ මෙලඩි' ටොෆි පැකට්ටුවක් තෑගි කරන අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් පසුගිය බදාදා අන්තර්ජාලය පුරා ලැව්ගින්නක් සේ ප්‍රසිද්ධ විය.
මේ සමගම ඇති වූ උන්මාදය හේතුවෙන් ආයෝජකයින් Parle Industries සමාගමේ කොටස් විශාල වශයෙන් මිලදී ගැනීමට පටන් ගත් අතර, එදිනම එම සමාගමේ කොටස් මිල 5% ක ඉහළම සීමාවට ළඟා විය.
මෙම තත්ත්වය අදත් අඛණ්ඩව පැවති අතර, එහිදීද Parle Industries කොටස් මිල නැවත වරක් 5% ක ඉහළම සීමාව සනිටුහන් කළේය.
ඒ අනුව බදාදා දිනයේදී ඉන්දීය රුපියල් 5.25 ක් ලෙස පැවති කොටස් මිල, බ්‍රහස්පතින්දා වන විට රුපියල් 5.51 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ගත වූ වෙළෙඳ සැසි දෙක තුළ පමණක් මෙම සමාගමේ කොටස් මිල 10% ක සමස්ත වර්ධනයක් පෙන්වා තිබීම විශේෂත්වයකි.
