අමෙරිකා-ඉරාන සාම ගිවිසුම සහ ට්‍රම්ප්ගේ නව සූදානම
May 21, 2026 09:03 am
ඉරානය සාම ගිවිසුමකට එකඟ නොවන්නේ නම් එරටට එරෙහිව යළිත් දැඩි ප්‍රහාර මාලාවක් දියත් කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
කෙසේ වෙතත්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් "නිවැරදි පිළිතුරක්" ලබා ගැනීම සඳහා තවත් දින කිහිපයක් බලා සිටීමට වොෂින්ටනයට හැකියාව ඇති බව ඔහු ඉඟි කළ බව සඳහන් වේ.
වත්මන් තත්ත්වය ඉතා සංවේදී සීමාවක පවතින බවත් ඕනෑම මොහොතක තත්ත්වය දරුණු අතට හැරිය හැකි බවත්ය ඔහු පවසා ඇත.
"අපිට නිවැරදි පිළිතුරක් ලැබුණේ නැත්නම්, සියල්ල ඉතා වේගයෙන් වෙනස් වේවි. අපි හැමෝම ප්‍රහාර සඳහා සූදානමින් ඉන්නේ," යනුවෙන්ද ඔහු පවසා තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් දියත් කරන ලද 'ඔපරේෂන් එපික් ෆියුරි' හමුදා මෙහෙයුම සටන් විරාමයක් සඳහා තාවකාලිකව නතර කර සති හයක් ගත වී ඇතත්, සාම සාකච්ඡාවල මෙතෙක් කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට නොමැත.
අමෙරිකාවෙන් එල්ල විය හැකි නව ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන විප්ලවීය බලකාය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉරානයට එරෙහිව නැවතත් ආක්‍රමණශීලී ක්‍රියාවක් සිදු වුවහොත් මෙවර කලාපීය යුද්ධය මැදපෙරදිගින් ඔබ්බට ව්‍යාප්ත වන බවය.
එසේම, ගෝලීය බලශක්ති සැපයුමට අතිශය තීරණාත්මක වන හෝමූස් සමුද්‍ර සන්ධිය නාවික ගමනාගමනය පාලනය කිරීම සඳහා ඉරානය විසින් "පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය" නමින් නව ආයතනයක්ද පිහිටුවා ඇත.
ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඉරානය සාකච්ඡා සඳහා විවෘතව සිටින නමුත්, "බලහත්කාරයෙන් ඉරානය යටත් කර ගැනීමට සිතීම මුලාවක්" බවය.
