බ්ලූම්බර්ග් වෙබ් අඩවියත් ශ්‍රී ලංකා රුපියල පහත දමයි

බ්ලූම්බර්ග් වෙබ් අඩවියත් ශ්‍රී ලංකා රුපියල පහත දමයි

May 21, 2026   06:48 am

ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බව 'බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වෙන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකා රුපියල පිළිබඳ වාර්තාවක් පළ කරමින් මේ බව සඳහන් කර තිබේ. 

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව පහත වැටීමකට ලක් වූ අතර එය තවදුරටත් අවප්‍රමාණය විය හැකි බව එම වාර්තාවේ සඳහන්ය.

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතා කෙටි කාලයක් තුළ විශාල ලෙස අවප්‍රමාණය වීම මෙරට ආර්ථිකයට භයානක අවදානමක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. 

ඔහු පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේ දී උද්ධමනය ද විශාල ලෙස ඉහළ යා හැකි බවය.

මේ අතර රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට වත්මන් රජයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. 

වර්තමානයේ පවතින ආර්ථික ගැටලුවට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව කඩිනම් පියවර ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, රුපියලේ කඩාවැටීම කෙටි කාලයක් පවතිනු ඇති බවත් එයට සියලුදෙනා ශක්තිමත්ව මුහුණදෙන ලෙසත්ය.