කපිලට ඇප තැබූ අයගෙන් සාක්ෂි නොකැඳවූයේ ඇයි? - මහේස්ත්‍රාත් පොලීසියෙන් විමසයි
May 19, 2026 07:50 pm
සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබූ පුද්ගලයන් දෙදෙනාගෙන් පොලිසිය තවමත් සාක්ෂි කැඳවා නොමැති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (19) හෙළිවුණි.
ඒ සම්බන්ධයෙන් පොලිසියෙන් දැඩි ස්වරයෙන් මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ තවමත් ඔවුන්ගෙන් ප්‍රකාශ හෝ සටහන් කරගෙන නොමැතිනම් විමර්ශන සිදුකරන්නේ කෙසේ ද යන්නයි.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද තෙවැනි දිනටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරුණි.
විමර්ශන නිලධාරින් අද සඳහන් කළේ මරණය සිදුවූ නිවසට රථ ගාල් දෙකකින් ඇතුළුවීමට හැකියාව ඇති අතර එම නිසා අවට තිබූ සී.සී. ටී.වී දර්ශන ද පරීක්ෂා කළ නමුත් 2026 වසරේ මැයි මස 05 වනදා සහ 07 වන දා අතර කිසිඳු බාහිර පුද්ගලයකු එම නිවසට ඇතුළු වී නැතැයි තොරතුරු අනාවරණ වූ බවය.
මෙම නිවසේ මෙන්ම මරණකරු පදිංචිව සිටි නිවසේද සී.සී.ටී.වී. දත්ත ගබඩාවී නැතැයි විමර්ශනවලදී හෙළි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුනි.
ඒ අනුව එම සීසීටීවී කැමරාවල ඩී.වී.ආර් යන්ත්‍ර මෙන්ම මරණය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් හඳුනානොගත් ඖෂධ වර්ග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීම සඳහා විමර්ශන නිලධාරින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
එම ස්ථානයේ නාඳුනන ඖෂධ පෙති වර්ග දෙකක් තිබූ බවත් පොලිසිය අනාවරණ කළේය.
මේවන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙන කපිල චන්ද්‍රෙස්න මහතාගේ ඇපකරුවන් සම්බන්ධයෙන් ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය.
''මෙම සාක්ෂි විභාගයේදී මරණකරුට ඇප තැබූ පුද්ගලයින් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණ වුණා. ඒ අය සාක්ෂියට කැඳවන්නේ නැද්ද? "
ඊට පිළිතුරු දෙමින් පොලිසිය සඳහන් කළේ " ස්වාමීනි ඒ අයගෙන් තවම ප්‍රකාශ සටහන් කරගන්න බැරි වුණා." යනුවෙන්ය.
එහිදී මහේස්ත්‍රාත්වරයා දැඩි ස්වරයෙන් "ප්‍රකාශ සටහන් කරගන්න බැරිවුණා කියලා සාක්ෂි කැඳවන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒ අයවනේ කලින් සාක්ෂියට කැදවන්න ඕන. ප්‍රකාශ සටහන් කර ගත්තේ නැත්නම් විමර්ශනය කරන්නේ කොහොමද?" යනුවෙන් ප්‍රශ්න කළේය.
ඒ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියා සඳහන්කෙළේ " ස්වාමීනි... මේ ඇපකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙන්නේ" යනුවෙන්ය.
ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා " රිමාන්ඩ් බාරයට පත් කරලා තියෙන්නෙ ඒ ඇපකාරයෝ දෙන්න නෙවෙයිනේ. රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙනවනම් ප්‍රකාශයක් ගන්න තවත් ලේසියිනේ. මගෙන් නියෝගයක් අරගෙන ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්" යනුවෙන් ප්‍රකාශ කළේය.
විමර්ශන සඳහා පොලීසිය ඉල්ලා සිටි නියෝග සියල්ල නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි කැඳවන ලෙස නියම කළේය.
ඒ අනුව අද පළමුව සාක්ෂි දුන්නේ කොළඹ පුද්ගලික රෝහලේ හෙද නිලධාරියෙකු වන කෝසල රත්නජීව මහතායි.
''සිද්ධිය වූ දින පෙරවරු 7.45ට පමණ පළමු දුරකථන ඇමතුම ආවා. අපි අදාළ නිවසට ගිලන් රථයෙන් ගියා. පසුව ඒ නිවසේ සිටි ලෝයර් කෙනෙක් අපිව උඩ තට්ටුවට එක්ක ගියා. කාමරයේ ලයිට් ඕෆ් කරලා තිබුණා. ඇඳ උඩ ඇඳුම් බෑග් එකක් තබා තිබුණා. පුද්ගලයෙකු බිම් දිගා වෙලා වගේ හිටියා. බෙල්ලේ රෙදි පටියක් ගැටගහලා තිබුණා. මුහුණ පුටුවක් උඩ තිබුණා. වෛද්‍යවරිය ඒ පුද්ගලයා පරීක්ෂා කළා. ඔහු මියගොස් ඇතැයි තහවුරු කළා. මියගිය පුද්ගලයා කපිල චන්ද්‍රසේන කියලා දැනගත්තා. රෝහල් පාලනාධිකාරියෙන් ලද උපදෙස් අනුව මම කොල්ලුපිටිය පොලිසියට දුරකථනයෙන් දැනුම් දුන්නා " යනුවෙන් සඳහන් කළේය.
එම අවස්ථාවේදී පොලීසිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ඔහු අදාළ ස්ථානයේ නිරීක්ෂණය කළේ මොනවාද යන්නයි.
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු, " මරණය සිදුවූ ස්ථානයේ ඇඳ මත බෑග් එකක් තිබ්බා. බෙහෙත් වර්ගයක් තිබුණා. ඒවා රුධිර සීනි මට්ටම පාලනය කරන බෙහෙත් පෙති බව අපිට පෙනී ගියා." යනුවෙන් පැවසීය.
ඉන් පසු සාක්ෂි ලබාදුන්නේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සේවය කළේ රාජේන්ද්‍ර කුමාර් සිවකුමාර්.
"මැයි 07 වනදා හවස 3.30 ට විතර කපිල මහත්තයා අපේ ගෙදර ආවා. එයා රාත්‍රී කෑම ගත්තේ නෑ. රාත්‍රීයේ කපිල මහත්තයා අරවින්ද සර් එක්ක කතා කරමින් ඉන්නවා දැක්කා. රාත්‍රී 12. 10 විතර මම නිදාගන්න ලෑස්ති වුණා. අන්තිමට මම තේ එකක් හදලා දුන්නා. ඒ වෙනකොට වෙලාව රාත්‍රී 12.00 ත් 12.05 ත් අතර ඇති. මම රාත්‍රි 12.15 ට විතර මම නිදාගන්න ගියා. රාත්‍රී 1.30 ට පමණ වොෂ් රූම් යන්න මම ඇහැරුණා. පැන්ට්‍රි කාමරය පැත්තේ ලයිට් දාලා තියෙනවා දැක්කා. මම ජනේලෙන් එබිලා බැලුවා. ඒ වෙලාවේ මම දැක්කා කපිල මහත්තයා සුදුපාට බෝතලයක් අතේ තියාගෙන ෆිල්ටර් එක ළග හිටියා. මම සර්ගෙන් ඇහුවා මොනවද ඕන කියලා. වතුර ගන්න ආවා කියලා කිව්වා. මම කිව්වා කාමරයේ වතුර තියලා තියෙනවා කියලා. පස්සේ උඩට ගියා. මම නිදාගන්න ගියා" යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
පසුව සාක්ෂි ලබාදුන්නේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සීසීටීවී කැමරා සවි කළ ආයතනයේ ඉංජිනේරුවකු වන ක්‍රිෂාන්ත කමලසිරි මහතායි.
''අරවින්ද ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ඔහූගේ නිවසේ කැමරා පහක් සවිකලා. 2022 වසරේ වගේ තමයි ඒවා සවිකළේ. ඒ අවස්ථාවේදී එම නිවසේ සිටි ප්‍රසන්න නමැත්තාට පෙන්නුවා රෙකෝඩ් වෙනවා කියලා. දත්ත මාසයක් පමණ තියාගන්න විදියටයි තිබුණේ. අවුරුද්දකට විතර පස්සේ කතා කරලා කිව්වා එලාම් එකක් වදිනවා බලන්න කියලා. පරීක්ෂා කළාම ඒකේ හාඩ් "ඩිස්ක් එක" ඩැමේජ් වෙලා කියලා දැනගත්තා. පසුව මාරු කළා. මේවා සර්විස් කිරීම ගැන ඇග්‍රීමන්ට් එකක් තිබුණේ නැහැ. මේ කැමරාවල දත්ත ගබඩා නොවෙන්නේ ඇයි කියලා මට කියන්න බෑ. මම පරීක්ෂා කරලා නෑ" යනුවෙන් සඳහන් කළා. අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 22 වනදා දක්වා කල් තැබුණි.
