වියට්නාම් ජනරජයේ නිර්මාතෘවරයාගේ 136වන ජන්ම සැමරුම අදයි

වියට්නාම් ජනරජයේ නිර්මාතෘවරයාගේ 136වන ජන්ම සැමරුම අදයි

May 19, 2026   06:10 pm

සමාජවාදී වියට්නාම් ජනරජයේ නිර්මාතෘ හෝ චි මිං මහතාගේ 136 වන ජන්ම සැමරුම අද (19) පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතා සංගමය විසින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම උත්සවය ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මහත්මියගේ ප්‍රධානත්වයෙන්  පවත්වා ඇත.

එහි දී මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති හෝ චි මිං ප්‍රතිමාවට, ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මහත්මිය ප්‍රමුඛ වියට්නාම් තානාපති නිලධාරීන්, ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතා සංගමයේ ලේකම් එස්. සුදසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය පී. වීරසිංහ කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක එම්.මන්සිල් කොළඹ මහජන පුස්තකාලාධිපතිනි රමණී ගඟබඩආරච්චි ඇතුළු මහත්ම මහත්මින් පිරිසක් පුෂ්පෝපහාර  දක්වා තිබුණි.

එහි දී අදහස් දැක්වූ වියට්නාම් තානාපතිනිය කියා සිටියේ, හෝ චි මිං තුන්වරක් ලංකාවට පැමිණ ඇති බවත්, වසර පනහකට ආසන්න කාලයක් දෙරට අතර ශක්තිමත් බැදීමක් පවතින බවත්ය.

එමෙන්ම වියට්නාමයේ වත්මන් ජනාධිපති මෙරටට පැමිණීම ඉතිහාසගත වන සිද්ධියක් බවද ඇය සඳහන් කළාය.

එය වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයෙක් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව වන බව තානාපතිනිය මෙහිදී පෙන්වා දුන්නාය.

1890 මැයි 19 වෙනිදා වියට්නාමයේ න්ඝේ අන් පළාතේ කිම් ලියෙන් ගම්මානයේ උපත ලද ඔහුගේ මුල් නාමය Nguyễn Sinh Cung ය.

පසුව චීනයට පලායාමේදී භාවිතා කළ හෝ චි මිං නම ඔහුගේ නාමය බවට පත්ව ඇත.

පසුව වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කළ ඔහු 1941 මැයි 19 දා ඔහුගේ 51 වන උපන් දිනය දාම වියට්නාමය නිදහස් කර ගැනීමේ, “ වියැට් මින්” නම් සංවිධානය පිහිටුවා තිබේ.
 
1945 ප්‍රංශ යටත් විජිත විරෝධි, අගෝස්තු විප්ලවය ජයග්‍රහණය කර සැප්තැම්බර් 2 දා හෝ චි මිං විසින් බා ඩින්ග් චතුරස්‍රයේදී වියට්නාම් නිදහස ප්‍රකාශනය ප්‍රසිද්ධියට පත් කර සමාජවාදී වියට්නම් ජනරජයේ ප්‍රථම ජනාධිපති බවට පත්ව ඇත.

වියට්නාමයට උදාර සේවයක් සිදුකළ හෝ චි මිං මහත‍ා 1969 සැප්තැම්බර් 2 වනදා සිය දිවියට සමුදුනි.