ජනපති රණවිරු සෙවණේ ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසයි
May 19, 2026 12:21 pm
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීය.
මෙහිදී ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා මාතෘ භූමියේ ඒකීයභාවය වෙනුවෙන් ඔවුන් සියලුදෙනා කළ කැපවීම අගය කළේය.
අනතුරුව “රණවිරු සෙවණ” සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්රමුඛ කාර්ය මණ්ඩලය සමගද කතාබහක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් වෙනුවෙන් තවදුරටත් සැපයිය හැකි වෛද්‍ය සහ අනෙකුත් සේවා පහසුකම් පිළිබඳවද සොයා බැලීය.
විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්යක්ෂ බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ. වීරකෝන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


