තෙල් සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාවෙන් යෝජනාවක් - ඉරානය
May 18, 2026 09:37 pm
අමෙරිකාව සහ ඉරානය අතර වොෂින්ටනයේදී සකස් වෙමින් පවතින නව කෙටුම්පත් සාකච්ඡා රාමුවක කොටසක් ලෙස, ඉරානයේ තෙල් ක්ෂේත්රයට පනවා ඇති සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව එකඟ වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
මෙම නවතම යෝජනාව පෙර යෝජනාවලට වඩා වෙනස් වන්නේ, අවසන් එකඟතාවකට පැමිණීමෙන් පසුව පමණක් සම්බාධක ඉවත් කිරීම වෙනුවට, සාකච්ඡා ක්‍රියාවලිය සිදුවන අතරතුරදීම ඇතැම් සම්බාධක ලිහිල් කිරීමට මෙයින් අවස්ථාව සලසා දී ඇති බැවිනි.
කෙසේ වෙතත්, දිගුකාලීන ගිවිසුමකට එළඹීම සඳහා අමෙරිකාව විසින් පනවා ඇති සියලුම සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට ඉරානය දිගින් දිගටම අවධාරණය කරයි.
අනාගත ගිවිසුමකදී අමෙරිකාවේ මූලික කැපවීමක් ලෙස මෙම සම්බාධක සහනය සහතික කළ යුතු බව ඉරාන පරිපාලනයේ මතය වී තිබේ.
නමුත් අමෙරිකාව දැනට ඉදිරිපත් කර ඇත්තේ අවසන් එකඟතාවකට පැමිණෙන තෙක් පමණක් වලංගු වන තාවකාලික සම්බාධක ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් පමණි.
මේ අතර, මැදපෙරදිග පවතින දරුණු ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය විසින් සංශෝධිත නව යෝජනාවක් පකිස්තානය හරහා අමෙරිකාව වෙත යොමු කර ඇති බව විදෙස් පුවත් වාර්තා කළේය.
පසුගියදා පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැති සාම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වුවද, අමෙරිකාවෙන් ලැබුණු නවතම යෝජනාවලට තමන් ප්‍රතිචාර දැක්වූ බව ඉරානය සඳහන් කර ඇත.
පසුගිය පෙබරවාරි අග භාගයේදී අමෙරිකානු සහ ඉශ්‍රායල බලකායන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ආරම්භ වූ මෙම යුද්ධය හේතුවෙන් සමස්ත මැදපෙරදිග කලාපයම කැළඹීමකට ලක්ව ඇති අතර ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
මෙවැනි පසුබිමක, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.
සාම ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත් ඉරානයෙන් "කිසිවක් ඉතිරි නොවනු ඇති" බවට ඔහු තර්ජනය කර තිබේ. "ඉරානයට කාලය වේගයෙන් ගෙවී යමින් පවතිනවා, ඔවුන් ඉක්මන් විය යුතුයි. කාලය ඉතාමත් වැදගත්," යනුවෙන් ද ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත.
