ජනපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්
May 18, 2026 09:02 pm
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇති නව ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මෙම ව්‍යාපෘති වෙනුවෙන් මෙම වසරේ වෙන් කරන ලද ප්‍රතිපාදන මෙම මූල්‍ය වර්ෂය තුළදීම නිසි පරිදි යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ආයතන කිහිපයක් සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති පිළිබඳව අදාළ ආයතන සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සහ නඩත්තුවේදී ඒ ඒ ආයතනවලට නිශ්චිත වගකීම් පැවරීම ආදිය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
කැලණි ගඟ ආශ්රිත ගං වතුර පාලන ව්‍යාපෘතිය ඇතුළු කොළඹ නගරයේ ජල කළමනාකරණ ව්‍යාපෘති, බේරේ වැව ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය මෙන්ම, කොළඹ ආශ්රිත රත්මලාන, මොරටුව වැනි ප්‍රදේශවල අඩු ආදායම්ලාභී නිවාස සඳහා විශේෂ වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, ඇතැම් ව්‍යාපෘතිවල නිසි කළමනාකරණය වෙනුවෙන් විශේෂ ආකෘතියක අවශ්‍යතාව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පෙන්වා දී තිබේ.
