රු. කෝටි 14කට වැඩි කුෂ් සමඟ දෙදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට
May 18, 2026 12:55 pm
රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය සමග කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටවීමට තැත් කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද (18) උදෑසන 9.30ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.
මෙම සැකකරුවන් දෙදෙනා, ගමන් මලු දෙකක් තුළ සඟවාගෙන තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 562ක ප්‍රමාණයක් රැගෙන ආ බව වාර්තා වේ.
ඇඳුම් අතර සූක්ෂම ලෙස ඇසුරුම් 28ක් ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු 23 හැවිරිදි මත්පැන් හලක සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා 30 හැවිරිදි නාටාමි වරයෙකු බවද අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
