කාලගුණයෙන් අර්ධ හානි වූ නිවාස ගණන 200 දක්වා ඉහළට

කාලගුණයෙන් අර්ධ හානි වූ නිවාස ගණන 200 දක්වා ඉහළට

May 18, 2026   11:22 am

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 200ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වාර්තාවක සඳහන් වනුයේ මෙම නිවාස අතුරින් වැඩිම අගයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන බවය.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් අර්ධ හානි වූ නිවාස 90ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 22, ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 14, මොනරාගල දිස්ත්‍රික්කයෙන් නිවාස 04, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් නිවාස 25, කොළඹ දිස්ත්‍රික්කයෙන් නිවාස 05, යාපනය දිස්ත්‍රික්කයෙන් නිවාස 04, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 25, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නිවාස 02, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 02, මන්නාර දිස්ත්‍රික්කයෙන් නිවාස 05 සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් නිවාස 02ක් අර්ධ හානියට ලක්ව තිබේ.

කාලගුණික තත්ත්වය යටතේ පූර්ණ වශයෙන් හානියට ලක්වූ එක් නිවාසයක්ද වාර්තා වන අතර එය රත්නපුර දිස්‍ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

මේ අතර පැවැති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ පවුල් 1,582ක් බලපෑමට ලක්ව ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙම පිරිස දිවයිනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 66කින් වාර්තා වි ඇති අතර ඒ අනුව පවුල් 1,582ක පුද්ගලයින් 5,267ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බවද එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.