17 වසරකට පෙර මතකය යළි සිහිපත් කළ දිලිත්

17 වසරකට පෙර මතකය යළි සිහිපත් කළ දිලිත්

May 18, 2026   09:43 am

‍යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් සර්වජන බලය නායක දිලිත් ජයවීර මහතා විසින් සටහනක් තබා තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ලොව ම්ලේච්ඡතම සහ භයානකම ත්‍රස්තවාදයට එරෙහිව අපගේ වීර රණවිරුවන් ලබා ගත් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය ලොවක් මවිත කරවීමට සමත් වූ බවය.

එමෙන්ම අප සමරනු ලබන්නේ ම්ලේච්ඡ කොටි නායකයා සහ ත්‍රස්තවාදීන් ඉදිරියේ රණවිරුවන් ලැබූ උදාර ජයග්‍රහණය පමණක් නොව එම උදාර ජයග්‍රහණය හේතුවෙන්  රටක් ලෙස ලැබූ මහා ජයග්‍රහණ සමුදාය වන බවද එම සටහනෙහි දැක්වේ.

-උපුටා ගැනීම-
රටකට අභය දානය සහ ජාතියකට උතුම් නිදහස ලබා දුන් මහා විජයග්‍රහණයට අදට වසර 17 ක් සපිරේ.

ලොව ම්ලේච්ඡතම සහ භයානකම ත්‍රස්තවාදයට එරෙහිව අපගේ වීර රණවිරුවන් ලබා ගත් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය ලොවක් මවිත කරවීමට සමත් විය.

ඒ ලෝකය ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කරනු දුටු පළමු අවස්ථාවයි.

ශ්‍රේෂ්ඨ යුද ජයග්‍රහණය යනු එක් ජන වර්ගයක පමණක් ජයග්‍රහණයක් නොවේ.

යුද ජයග්‍රහණයේ විශාලතම ප්‍රතිලාභ ලැබූවේ අපගේ සහෝදර දමිල ජනතාවයි. ඒ ම්ලේච්ඡ කොටි නායක පිරිබාහරන් විසින් අහිංසක දමිල දරුවන්ගේ කරේ සයනයිඩ් කරලක් එල්ලා, බලහත්කාරයෙන්ම ඔවුන්ගේ දෑතට තුවක්කුවක් ලබා දුන් අතීතයකි. 

යුද ජයග්‍රහණයෙන් පසු සහෝදර දමිල ජනතාව බිය ගැන්වීමට සහ බලහත්කාරයෙන් දරුවන් උදුරා ගැනීමට ම්ලේච්ඡ කොටි ත්‍රස්තයන් දැන් නැත.

අප රණවිරුවන්ට පින් සිදුවන්නට  දැන් සෑම විභාගයකින්ම උතුරේ දරුවන් ඉහළ ප්‍රතිඵල ලබා ගනියි.

ඒ යුද ජයග්‍රහණයෙන් සහෝදර දමිල ජනතාව ලැබූ ප්‍රතිලාභයි.

අද අප නිදහසේ හුස්ම ගැනීමට සහ ජීවත් වීමටත්, ලෝකයේ ශ්‍රී ලංකාව අනාරක්ෂිත ගෝත්‍රික රටක් ලෙසින් පැවැති මතය අවසන් වූයේත් යුද ජයග්‍රහණය නිසයි.

අද අප සමරන්නේ ම්ලේච්ඡ කොටි නායකයා සහ ත්‍රස්තවාදීන් ඉදිරියේ අප රණවිරුවන් ලැබූ උදාර ජයග්‍රහණය පමණක් නොවේ.

එම උදාර ජයග්‍රහණය හේතුවෙන් අප රටක් ලෙස ලැබූ මහා ජයග්‍රහණ සමුදායයි.

යුද ජයග්‍රහණය නිසා අපගේ සම්පූර්ණ ජීවිතය සහ මනෝභාවය වෙනස් විය.

තවදුරටත් අප බෝම්බ බියේ ජීවත් වන, රැකියාවට පිටත්ව යන ජාතියක් නොවේ.

තවදුරටත් අප එළිමහනේ සාද පැවැත්වීමට බිය ජාතියක් නොවේ.

තවදුරටත් අප මන්නාරමේ සිට අනුරාධපුරය දක්වා ගම්මාන වල ජනතාව, රැය පහන් කිරීමට නිවෙස් අතහැර කැලෑ වදින ජාතියක් නොවේ.

තවදුරටත් අප බෝම්බයකට බියේ බස් රථයකට සහ දුම්රියට ගොඩවන ජාතියක් නොවේ.

තවදුරටත් අපගේ ගම්මාන වලට තරුණ හමුදා සොල්දාදුවන්ගේ මෘත ශරීර පැමිණෙන්නේ නැත. 

තවදුරටත් ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට බිය වන්නේ  නැත.

තවදුරටත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට 'ත්‍රස්තවාදය' පිට දමා අපගේ රටේ ක්‍රිකට් සංචාර අහෝසි කළ නොහැක. 

ඒ යුද ජයග්‍රහණයෙන් මව්බිම ලැබූ ජයග්‍රහණයයි.

යුද ජයග්‍රහණය යනු අප රටක් ලෙස සියලූම දෙනා කැපවී ලබා ගත් ජයකි.

එයට අපගේ කොටස ඉටු කරමින්, 'අපි වෙනුවෙන් අපි' ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කරමින්, ත්‍රිවිධ හමුදා රණවිරුවන් කෙරෙහි සමාජයේ ඇඳී තිබූ ප්‍රතිරූපය වෙනස් කරවීමට හැකි වීම මාගේ ජීවිතයේ මා ලැබූ ඉහලම ජයග්‍රහණයකි.

කොටින්ම ජාතික සහ ජාත්‍යන්තර තලයේ සන්නාම සිය දහස් ගණනක් ගොඩ නංවා ඇති මාගේ වෘත්තීමය ජීවිතයේ මා වඩාත්ම තෘප්තිමත් වන රාජකාරිය 'අපි වෙනුවෙන් අපි' ව්‍යාපෘතියයි. 

වසර 17 කට පසුව පමණක් නොව අප මාතෘභූමිය පවතිනා තුරා යුද ජයග්‍රණය සැමරිය යුතුය.

ඊට සහභාගී වූ වීරයන්ගේ කැපකිරීම් සහ වීරත්වය සැමරිය යුතුයි.

ශිෂ්ඨ සහ කෘතඥ පූර්වක ජාතියක පරම වගකීම එයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර,
නායක,
සර්වජන බලය.

-උපුටා ගැනීම අවසන්-