එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ගල්වළක ගිලී මරුට
May 17, 2026 09:22 pm
කැකිරාව, සමගිගම ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ ගල්වළක දිය නෑමට ගිය සහෝදරයන් දෙදෙනෙකු අද (17) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිසිය සඳහන් කර සිටියේ, මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි, වයස අවුරුදු 39ක් සහ 41ක් වන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් බවය.
පොලිස් විමර්ශනවලට අනුව මියගිය පුද්ගලයන් ඇතුළු 5 දෙනෙකුගෙන් යුත් පිරිසක් ගල්වළේ දියනෑම සඳහා ගොස් ඇත.
එම පිරිසෙන් තිදෙනෙකු දිය නෑමෙන් පසු ආපසු පැමිණ ඇති අතර, සහෝදරයන් දෙදෙනා එහි නතරවී සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියගොස් තිබේ.
මෙම පිරිස කැකිරාව ප්‍රදේශයේ විද්‍යාලයක ඉදිකිරීම් කටයුත්තක් සඳහා පැමිණ ඇති අය බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
