තමිල්නාඩු මැතිවරණයේ දී විදේශිකයොත් ඡන්දය ප්‍රකාශ කරලා

තමිල්නාඩු මැතිවරණයේ දී විදේශිකයොත් ඡන්දය ප්‍රකාශ කරලා

May 17, 2026   04:30 pm

ඉකුත් අප්‍රේල් 23 වැනිදා පැවැති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ දී ව්‍යාජ ලේඛන සකස් කර, නීතිවිරෝධී ලෙස ඡන්දය ප්‍රකාශ කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් විදේශිකයන් ගණන 10ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ඇතුළුව එක්සත් රාජධානිය සහ කැනඩාව යන රටවල පුරවැසිභාවය හිමි පුද්ගලයින්ද සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම සැකකරුවන්ගෙන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නැවත තමන් පදිංචි රටවල් බලා යාම සඳහා චෙන්නායි සහ මදුරෙයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපොළ නිලධාරීන්ට මතු වූ සැකයක් මත සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් මෙම පිරිසගේ දබරැඟිලිවල ඡන්දය ප්‍රකාශ කිරීමේදී ආලේපකළ තීන්ත සලකුණු පැහැදිලිව දක්නට ලැබී ඇත.
 
විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන්ගේ ඇඟිලිවල තීන්ත සලකුණු තිබීම පිළිබඳව ගුවන්තොටුපොළ බලධාරීන්ට ඇති වූ සැකය මත සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

චෙන්නායි පොලීසිය සඳහන් කළේ මෙම සිදුවීම්වලට අදාළව දැනට නඩු 9ක් ගොනුකර ඇති බවත්, ඉන්දීය මධ්‍යම අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවන බවය.

"ඔවුන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ව්‍යාජ ඉන්දියානු හැඳුනුම්පත් සහ ලේඛන භාවිතා කර තිබෙනවා. ඔවුන් රටින් පිටතට පියාසර කිරීමට උත්සාහ කරන විටයි ඇඟිලිවල නොමැකෙන තීන්ත සලකුණු නිරීක්ෂණය වුණේ," යැයි උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

ඉන්දීය මැතිවරණ නීතිරීතිවලට අනුව, විදේශයක ජීවත් වන අයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට නම් ඔහු වෙනත් කිසිදු රටක පුරවැසිභාවය ලබා නොගත් ඉන්දීය පුරවැසියෙකු විය යුතුය. 

යම් අයෙකු ඉන්දීය පුරවැසිභාවය අත්හැර වෙනත් රටක පුරවැසිභාවය ලබාගෙන තිබේ නම්, ඔවුන්ට ඉන්දියාවේ ඡන්දය ප්‍රකාශ කිරීම සපුරා තහනම්ය.