දුරකථන රැහැන් කපා තඹ රැගෙන අලෙවිකරන ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
May 17, 2026 11:55 am
හැටන් ටෙලිකොම් කාර්යාලය යටතේ පාලනයවන නෝර්වුඩ්, මස්කෙළිය සහ කාසල්රි යන ප්‍රදේශවල දුරකථන පාරිභෝගිකයන් වෙත ලබා දී තිබූ දුරකථන රැහැන් කපා ළග තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් ඊයේ (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් රාත්‍රී කාලයේ වාහනවලින් පැමිණ දුරකථන රැහැන් කපා රැගෙන ගොස් පුලුස්සා ඒ තුල වූ තඹ රැගෙන අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් බවට සිදුකරන ලද මූලික විමර්ශනයේදි අනාවරණය වූ බව පොලීසිය පවසයි.
පාරිභෝගිකයන් වෙත දුරකථන සම්බන්ධතා ලබාදීම සඳහා හැටන් සිට නෝර්වුඩ්, මස්කෙළිය සහ කාසල්රි යන ප්‍රදේශවලට ඇද තිබූ විශාල දුරකථන රැහැන් කිසියම් පිරිසක් විසින් කපා ගෙන ගොස් ඇති බවට හැටන් ටෙලිකොම් ආයතනයේ නිළධාරීන් විසින් හැටන් පොලීසියට පැමිණිල්ලක්ද කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත ලද තොරතුරක් මත හැටන් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් හැටන් මූලස්ථාන ප්‍රධාන පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී.සුගතදාස මහතාගේ අධීක්ෂණය යටතේ සැකකරුවන් පදිංචි නෝර්වුඩ් අපකට් ප්‍රදේශයේ නිවස පරික්ෂා කිරීමේදී නිවස තුල සැකකරුවන් විසින් කපා සඟවා තිබූ රු.ලක්ෂ 40ක් පමණ වටිනා දුරකථන රැහැන් සහිත කේබල් ගණනාවක් පොලිස් නිළධාරීන් විසින් සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 51 සහ 28 යන වයස්වල පසුවන අය බවත්, එම සැකකරුවන් දුරකථන රැහැන් උණුකර ලබා ගන්නා තඹ කිලෝවක් රු.2500කට අලෙවි කර ඇති බවට කරුණු අණාවරය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
