ත්‍රීරෝදරථ රියදුරෙකුට පහරදී මුදල් කොල්ලකෑ කොස්තාපල්වරු දෙදෙනෙකු අත්අඩංගුවට
May 17, 2026 11:11 am
ත්‍රීරෝදරථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයකුට පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව කියන ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරු දෙදෙනෙකි.
රත්මලාන ගුවන්තොටුපොළ මාර්ගයේ ත්‍රීරෝදරථයක් පදවාගෙන යමින් සිටි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මඟ හරස්කර තමා සන්තකේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව ඉකුත් 15 වෙනි දින මොරටුව අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එකී මුදල් සීට්ටු මුදල් බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සිදුකළ දීර්ඝ විමර්ශනවලදී එම මුදල් විදේශගතව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ ‘කුඩු අංජු’ නැමැත්තාට අයත් ඒවා බවත් පැමිණිලිකරු එකී මුදල් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම කොල්ලය සිදුවී ඇති බවටත් අනාවරණය වු බව පොලීසිය පැවසීය.
සැකකාර පැමිණිලිකරුට එකී මුදල් ලබාදුන් බව කියන මොරටුව අඟුලාන සමුද්‍රාසන්න මාවත පදිංචි කාන්තාවකගෙන් ද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඇයද සීට්ටු මුදල් බවට ප්‍රකාශ කළද එය තහවුරු කිරීමට නොහැකි වූ බවත් එකී මුදල් මත්ද්‍රව‍්‍ය ජාවාරමෙන් උපයාගෙන ප්‍රවාහනය කරමින් සිටි ඒවා බවට අනාවරණය වීමෙන් අනතුරුව එම කාන්තාවද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
55 හැවිරිදි එම කාන්තාව රත්මලාන ‘කුඩු අංජු’ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මීට පෙරද ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් තැනැත්තියක් බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
