වැසි තත්ත්වයේ යම් අඩුවීමක් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම පහළට

වැසි තත්ත්වයේ යම් අඩුවීමක් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම පහළට

May 16, 2026   08:21 am

වැසි තත්ත්වයේ යම් අඩුවීමක් පෙන්නුම් කිරීමත් සමග ඉහළ ගොස් තිබූ ගංගාවල ජල මට්ටම කෙමෙන් කෙමෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ පෙරදිවලට සාපේක්ෂව වැසි තත්ත්වයේ යම් අඩුවීමක් සමග මෙම තත්ත්වය දක්නට ලැබෙන බවය.

කෙසේ නමුත් කළු ගඟේ මිල්ලකන්ද මධ්‍යස්ථානයට අනුව  මේ දක්වා සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර අත්තනගලු ඔයේ ජල මට්ටමද ක්‍රමයෙන් පහළ යමින් පවතින බව පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ මේ දක්වා ද සුළු ගංවතුර තත්ත්වයක් අත්තනගලු ඔය ආශ්‍රිතව පවතින බැවින් අත්තනගලු ඔයේ පහළ ස්ථාන වන ගම්පහ, කටාන, වත්තල වැනි ප්‍රදේශවල ජනතාව මේ ගැන සැලකිලිමත්වන ලෙසය.

කැලණි ගඟ ආශ්‍රිතව හංවැල්ල ප්‍රදේශයට තවදුරටත් වර්ෂාව ඇද හැලෙමින් පවතින බවත් ඒ අනුව අද දිනයේද වර්ෂාව ලැබෙන කාලගුණික තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් ගංගාවල ජල මට්ටම් පිළිබඳ සැලකිලිමත් වන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

මේ අතර ඊයේ (15) සවස් කාලය වන විට ප්‍රධාන ජලාශ 73න් 22කට ආසන්න ප්‍රමාණයක් මධ්‍යම ප්‍රමාණයේ වැව් 19ක් වාන් දමමින් පවතින බවද පෙන්වා දුන් ඒ මහතා ඉදිරි වර්ෂාපතන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වාන් දොරටු විවෘත කිරීම් සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.