ලෝක බලවතුන්ගේ අවධානයට ලක්වූ 'තුසෙයිඩිඩීස් උගුල'
May 14, 2026 10:11 pm
චීනයේ දෙදින නිල සංචාරයක් සඳහා එක්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු නියෝජිත කණ්ඩායම අද (14) ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූහ.
මෙහිදී දෙපාර්ශ්ව අතර කරුණු රැසක් පිළිබඳ අවධානය යොමුකර ඇති අතර, එහිදී 'තුසෙයිඩිඩීස් උගුල' සම්බන්ධයෙන්ද සාකච්ඡා පවත්වා තිබේ.
ලොව නව බලවත් රාජ්‍යයක් වේගවත්ව නැගී එන විට, දැනටමත් බලවත්ව සිටින රටක් තුළ ඒ පිළිබඳව බිය සහ අවිශ්වාසය ඇති වී යුද්ධයක අවදානමක් නිර්මාණය වීම 'තුසෙයිඩීඩීස් උගුල' යනුවෙන් සරළව හඳුන්වනු ලබයි.
මෙම නම ලැබී ඇත්තේ පුරාණ ග්‍රීක ඉතිහාසඥයෙකු වූ තුසෙයිඩීඩීස් (Thucydides)ගෙන් බව සඳහන්ය.
මේ අතර අද පැවති සාකච්ඡාවේ දී තවදුරටත් අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා,
"චීනය සහ අමෙරිකාව අතර පවතින වෙනස්කම්වලට වඩා අප දෙරටේ පොදු අභිලාෂයන් වැදගත්. චීන - අමෙරිකා අතර ස්ථාවරව සබඳතාවක් පවතිනවා නම් එය ලෝකයටම යහපතක්.
අපි එක්ව වැඩකළාම, ඒක දෙරටටම වාසිදායක ප්‍රතිඵල ගේනවා. අපි එකිනෙකාට එරෙහිව ගියොත් දෙපාර්ශ්වයම ඉන් පීඩා විඳිනවා. අපි එක්ව වැඩකරලා, පොදු සෞභාග්‍යයක් අත්පත් කරගන්න ඕන.
ලෝකයම අපේ හමුව දෙස බලා ඉන්නවා. චීනයටයි අමෙරිකාවටයි තුසෙයිඩිඩීස් උගුලට හසුනොවී ඉන්න පුළුවන්ද? අපිට එක්ව ගෝලීය අභියෝග ජයගෙන ස්ථාවර ලෝකයක් හදන්න පුළුවන්ද? අපිට පුළුවන්" යනුවෙන් මෙහිදී චීන ජනපති ෂී ජින්පින් පවසා තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා ප්රමුඛ නියෝජිත කණ්ඩායම චීනයේ බීජිං නුවර වෙත පැමිණියේ එරට වේලාවෙන් ඊයේ රාත්‍රී කාලයේය.
මෙම සංචාරයට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, ස්පේස් X, ටෙස්ලා නිර්මාතෘ ඊලෝන් මස්ක්, NVIDIA ප්‍රධානී ජෙන්සන් හුවාන්ග් ඇතුළු තාක්ෂණික සමාගම් ප්‍රධානීන් රැසක් එක්වූහ.
2017 වසරින් පසු එනම්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලයෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයෙක් චීනය වෙත සංචාරය කළ පළමු අවස්ථාව විය.
ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනුවෙන් මෙහිදී හමුදා ආචාර වෙඩිමුර 21ක් පැවැත්වීය.
මෙහිදී අදහස් පළකළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දුන්නේ, සිය පාලනය යටතේ අමෙරිකාව සහ චීනය අතර අන් කවරදාටත් වඩා යහපත් සබඳතාවක් පවතින බවය.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප් ජනාධිපතිවරයා,
"ජනාධිපතිතුමනි, පිළිගැනීමේ උත්සවය ඉතාමත් ගෞරවණීයයි. මම අර දරුවන් නිසා ගොඩක් සතුටු වුණා. අපි දෙදෙනා දිගු කලක සිට හඳුනනවා.
අසීරු අවස්ථාවලදි අපි එකිනෙකාට දුරකථනයෙන් කතා කරනවා. මිනිස්සු දන්නේ නැහැ. අපිට ප්‍රශ්න ඇති සෑම විටම අපි ඒවා විසඳගන්නවා. චීනය සහ අමෙරිකාව අතර පවතින සබඳතාව අන් කවරදාටත් වඩා හොඳින් සිදුවෙනවා.
ඔබ විශිෂ්ට නායකයෙක්. මම ඕනැම කෙනෙක්ට ඒක කියනවා. සමහර අය මං එහෙම කියනවට කැමති නැහැ. නමුත් මං ඒක කියනවා මොකද ඒක තමයි ඇත්ත.
අද මෙතනට ඇවිත් ඉන්නවා දක්ෂ මිනිසුන් පිරිසක්. ඔවුන් ඇවිත් ඉන්නේ ඔබට සහ චීනයට ගෞරවය පුද කරන්න. ඔවුන් චීනය සමඟ වෙළෙඳ සබඳතා තරකරගන්න අපේක්ෂාවෙන් ඉන්නේ" යනුවෙන් පැවසීය.
රාජ්‍ය නායකයින් අතර 'මාධ්‍යයට නිරාවරණ නොකළ සාකච්ඡා' පැවති අතර එහිදී ඉරාන යුද්ධය, තායිවාන අර්බුදය, චීනය අමෙරිකානු ව්‍යාපාර සඳහා විවෘත කිරීම, දෙරටේ හමුදා අතර සන්නිවේදනය තරකරගැනීම, වෙළෙඳ, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ වැඩි අවධානය යොමුව තිබේ.
හමුව පිළිබඳ නිවේදනයක් නිකුත් කළ ධවල මන්දිරය පවසන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය නිදහස් ගමනාගමනය සඳහා විවෘතව පැවතිය යුතු බවට අමෙරිකාව සහ චීනය මෙහිදී එකඟ වූ බවය.
එමෙන්ම ඉරානයට කිසි දිනෙක න්‍යෂ්ටික අවියක් තැනීමට ඉඩ දිය නොහැකි යැයි ද දෙපාර්ශ්වයම එකඟ වූ බවද ධවල මන්දිර වාර්තාවේ දැක්විණි.
පැය දෙකක පමණ කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව නායකයින් දෙපළ, අතීත චීන අධිරාජ්‍යයන් සාමය අයැදීමට ගිය, බීජිං හි තහනම් නගරයේ පිහිටි වසර 600ක් පැරැණි 'දෙව්ලොව පන්සල' වෙත සංචාරය කළේය.
මේ අතර රාජ්‍ය නායකයින් එක්වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ලබන සැප්තැම්බර් 24 වැනිදා අමෙරිකාවේ ධවල මන්දිරය වෙත සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති ට්‍රම්ප්, ෂී ජින්පින් යුවළට ආරාධනා කළේය.
