ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් අගවිනිසුරුට සංදේශයක්

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් අගවිනිසුරුට සංදේශයක්

May 12, 2026   01:11 pm

මැයි දින වේදිකාවේදී නඩු තීන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අගවිනිසුරුවරයාට සංදේශයක් යොමුකළ බව එහි කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පවසයි.

කොළඹදී අද (12) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර එහි තීන්දුව පිළිබඳව දන්නේ විනිශ්චයකාරතුමා පමණක් වන අතර ඔහුට එය තුන්වන පාර්ශවයකට හෙළිදරව් කිරීමට කිසිඳු අයිතියක් නොමැති බවද මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීම ඉතාම බරපතළ වරදක් වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා, 

''මැයි දිනයේ දී ජනාධිපතිතුමා මහරගම දී සිදු කළ කතාවේ බොහොම පැහැදිලිව එතුමා කිව්වා මැයි 30 අහපු නඩුවේ තීන්දුව ලැබෙනවා කියලා මැයි 25 වෙනිදාට.. ඒත් එක්කම කිව්වා ඒ නඩු තීන්දුව අත්පුඩි ගහලා මහත් හරසරින් පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න කියලා.. අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර එම තීන්දුව දන්නේ එක පුද්ගලයෙකු විතරයි. ඒ නඩුව අහපු විනිශ්චයකාරතුමා විතරයි.. ඔහුට කිසිම අයිතියක් නෑ ඒ තීන්දුව තුන්වන පාර්ශවයකට කියන්න.. සාකච්ඡා කරන්න පුලුවන්කමකුත් නෑ.. අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීම කියන්නේ ඉතාම බරපතළ වරදක්... එහෙම කරන කෙනෙක්ට ලැබෙන දඬුවම තමා අවුරුද්දක් බන්ධනාගාර ගතවීම.. ඒත් එක්කම අවුරුදු 5ක කාලයකට ප්‍රජා අයිතිය අහිමි වීම.. ඒ නිසා විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක නායකයින් හා නියෝජිතයින් හැටියට අපි තීරණය කළා  අගවිනිසුරුවරයාට සංදේශයක් යොමු කිරීමට.. එතුමාගේ ගෞරවාන්විත අවදානය මේ උග්‍ර ප්‍රශ්නය වෙනුවෙන් යොමු කරන්න කියන ආයාචනය තමා අපි සාමූහිකව කරන්නේ..''