රෝගියෙකු වෙනුවෙන් කි.මී. 10,000කට වැඩි දුරක් ගෙවා ගිය ගමන

රෝගියෙකු වෙනුවෙන් කි.මී. 10,000කට වැඩි දුරක් ගෙවා ගිය ගමන

May 10, 2026   11:26 pm

'හන්ටා' වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට උපකාර කිරීම සඳහා එරට හමුදා වෛද්‍යවරු කණ්ඩායමක් ට්‍රිස්ටන් ඩා කුන්හා නම් දූපත වෙත පිටත්ව ගොස් තිබේ.

මිනිසුන් 200ක් පමණ සිටින අත්ලාන්තික් දූපතක් වන ට්‍රිස්ටන් ඩා කුන්හා, බ්‍රිතාන්‍යයට අයත් එරටට දුරින්ම පිහිටි දූපතක් ලෙස සැලකේ.

'හන්ටා' වෛරසය ගැන කතාබහක් ඇතිකළ 'MV Hondius' නෞකාවේ සිටි මගියෙකු වන මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා, ඉකුත් අප්‍රේල් 14 වනදා ට්‍රිස්ටන් ඩා කුන්හා දූපත වෙත ගොඩබැස තිබේ.

කෙසේ නමුත් යාත්‍රාවෙන් පිටව ගොස් සති දෙකකට පසු ඔහුට මූලික රෝග ලක්ෂණ වාර්තා වී ඇත.

ඒ අනුව ඔහුටද වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු, වෛද්‍යවරුන් සහ වෛද්‍ය සැපයුම් සමග පැරෂුට් භටයින් මෙලෙස ට්‍රිස්ටන් ඩා කුන්හා වෙත ගොඩබැස තිබේ.

බ්‍රිතාන්‍ය 16 ගුවන් ප්‍රහාරක බළකායේ පැරෂුට් භටයින් හය දෙනෙකු සහ හමුදා සායනික වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස ගොස් තිබේ.

ඔවුන් ඔක්ස්ෆර්ඩ්ෂයර් ගුවන් කඳවුරක සිට කිලෝමීටර් 6,788 (සැතපුම් 4,218)ක් දුරින් පිහිටි ඇසෙන්ෂන් දූපතට පළමුව ගමන්කර ඇත.

අනතුරුව එතැන් සිට 'RAF A400M' ප්‍රවාහන ගුවන් යානයකින් තවත් කිලෝමීටර් 3,000ක් පියාසර කර, ට්‍රිස්ටන් ඩා කුන්හා වෙත ළඟා වී තිබේ.

පැරෂුට් පැනීමක් හරහා මානුෂීය සහාය ලබාදීම සඳහා බ්‍රිතාන්‍යයේ හමුදා වෛද්‍ය නිලධාරීන් යොදාගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.