යුද්ධය අවසන් කිරීමේ අමෙරිකානු යෝජනාවට ඉරානයෙන් ප්‍රතිචාර
May 10, 2026 06:42 pm
පසුගිය පෙබරවාරි මස අගභාගයේදී ආරම්භ වූ කලාපීය යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ නවතම කෙටුම්පතට ඉරානය සිය ප්‍රතිචාරය ලබා දී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ නිල පුවත් ඒජන්සිය වන IRNA වාර්තා කර ඇත්තේ, පකිස්තාන මැදිහත්කරුවෙකු හරහා මෙම ප්‍රතිචාරය අද දිනයේදී අමෙරිකාව වෙත භාර දුන් බවය.
"යෝජිත රාමුවට අනුව, මෙම අදියරේ සාකච්ඡා කලාපයේ පවතින යුද්ධය අවසන් කිරීමේ කරුණ කෙරෙහි අවධානය යොමු කරනු ඇත," යනුවෙන් සඳහන් වුවද ඉරාන ප්‍රතිචාරයේ අඩංගු සවිස්තරාත්මක තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් පුවත් පවසයි.
මේ අතර, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා ඛමේනි සහ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් අබ්දුල්ලාහි අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
මෙය පසුගිය දින කිහිපය තුළ උත්තරීතර නායකයා පැවැත්වූ දෙවන සෘජු හමුවීම බව සඳහන් වේ.
එම හමුවීමේදී ඉරාන සන්නද්ධ හමුදාවල සූදානම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ ජෙනරාල් අබ්දුල්ලාහි පවසා ඇත්තේ, " ඕනෑම සතුරු ක්‍රියාවකට මුහුණ දීමට අවශ්‍ය උපකරණ සහ ආයුධවලින් ඉරාන හමුදාව සන්නද්ධව සිටින" බවය.
සතුරන් යම් උපායමාර්ගික ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට දැඩිව සහ ප්රබලව ප්‍රතිචාර දක්වන බවට ඔහු අනතුරු අගවා තිබේ.
මොජ්තාබා ඛමේනි මාර්තු මාසයේදී සිය පියා වූ අයතුල්ලා අලි ඛමේනිගේ අභාවයෙන් පසු ධූරයට පත් වුවද, ඔහුගේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් මෙතෙක් රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර නොමැත. මේ හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ සිටින ස්ථානය පිළිබඳව ජාත්‍යන්තරය තුළ විවිධ සැක සංකා මතු වී තිබේ.
කෙසේ වෙතත්, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා ඇත්තේ තමා පසුගියදා උත්තරීතර නායකයා සමඟ පැය දෙකහමාරක සාකච්ඡාවක් පැවැත්වූ බවය.
අමෙරිකානු බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ ඉරාන පාලන තන්ත්රය තුළ යම් යම් අභ්‍යන්තර බෙදීම් පැවතියද, යුධ උපායමාර්ග සකස් කිරීමේදී සහ ඇමරිකාව සමඟ කෙරෙන සාකච්ඡා මෙහෙයවීමේදී මොජ්තාබා ඛමේනි තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි.
