තමිල්නාඩු මහ ඇමති 'විජේ' පළමු දිනයේම වැඩ අරඹයි

තමිල්නාඩු මහ ඇමති 'විජේ' පළමු දිනයේම වැඩ අරඹයි

May 10, 2026   06:29 pm

තමිල්නාඩුවේ 17 වන මහ ඇමතිවරයා ලෙසින් වැඩ භාරගත් තලපති විජේ, පළමු දිනයේම සිය ප්‍රධාන සුභසාධන යෝජනා ක්‍රම තුනකට අත්සන් තබා තිබේ.

කාන්තා ආරක්ෂාව, තරුණ සුභසාධනය සහ මහජන යහපැවැත්ම යන කරුණු කෙරෙහි අවධානය යොමුකර මෙම යෝජනා ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇත.

කාන්තා ආරක්ෂාව වෙනුවෙන් 'Singappen Athiradi Padai'

විජේගේ යෝජනාවල කොටසක් ලෙස තමිල්නාඩුව පුරා කාන්තා ආරක්ෂාව සහතික කිරීම අරමුණු කරගත් 'Singappen Athiradi Padai'නමින් නව විශේෂ කාන්තා ආරක්ෂක ඒකකයක් දියත් කළේය. 

බලයට පත්වීමෙන් පසු විජය ඔහුගේ පළමු තීරණය ලෙස මෙම ඒකකය නිල වශයෙන් පිහිටුවා ඇත. ඒ අනුව ප්‍රාන්තයේ සියලුම ප්‍රදේශවල කාන්තා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා මෙය ක්‍රියාත්මක වනු ඇත. 

නොමිලේ විදුලි ඒකක 200ක්

තමිල්නාඩුවේ නිවාස සඳහා මාස දෙකකට වරක් නොමිලේ විදුලිය ඒකක 200ක් ලබා දෙන යෝජනා ක්‍රමයක් අනුමත කළේය. 

මෙම පියවර ගනු ලබන්නේ දැනට පාරිභෝගිකයින්ට නොමිලේ විදුලි ඒකක 100ක් ලැබෙන යෝජනා ක්‍රමයට අමතරවය.

සෑම දිස්ත්‍රික්කයකටම මත්ද්‍රව්‍ය නාශක ඒකකයක්

'මත්ද්‍රව්‍යවලින් තොර තමිල්නාඩුවක්' නිර්මාණය කිරීමේ සහ තරුණයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස, තමිල්නාඩුවේ සෑම දිස්ත්‍රික්කයකම මත්ද්‍රව්‍ය විරෝධී ඒකක පිහිටුවීමේ නියෝගයකට අත්සන් තැබීය.

මේ අතර අද (10) පැවති විජයගේ දිවුරුම් දීමේ උත්සවය අතරතුර ඔහු හැඟීම්බර දේශනයක්ද පැවැත්වීය.

එහිදී ඔහු දැක්වූ අදහස්,

"මම ඔබේ පවුලේ කෙනෙක්. මම ඉන්ද්‍රජාලිකයෙක් හෝ දේව චරිතයක් නොවේ. යථාර්ථවාදීව කළ හැකි දේ මම කරනවා.තමිල්නාඩුව විශාල ණය බරකින් පෙළෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම සිඳී ගිහින්.  

අපි මුලින්ම තමිල්නාඩුවේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කරනවා. මම රහසිගතව කිසිවක් කරන්නේ නැහැ. සියල්ල විනිවිද පෙනෙන ලෙස කරනවා. මගේ රජයට යම් කාලයක් ලබා දෙන්න.

මත්ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහිව දැඩිව පියවර ගන්නවා. තරුණයින් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීම මගේ ප්‍රමුඛතාව.  තමිල්නාඩුවේ කෝටි 8ක ජනතාවම මට එකයි. මිතුරන් හෝ සතුරන් වේවා, සියල්ලෝම මගේ ජනතාව.

මම කිසි විටෙකත් මහජන මුදල් වැරදි ලෙස භාවිතා කරන්නේ නෑ. මගේ පරිපාලනය තුළ දූෂණයට ඉඩක් නෑ. 

මේ විජේ කවදාවත් වැරදි කරන්නේ නැහැ. මාත් එක්ක ආණ්ඩුවේ ඉන්න අය පවා වැරදි කළොත් බේරෙන්නේ නැහැ" යැයි පැවසීය.