'Met Gala' විලාසිතා දැක්ම කැලඹූ ඉන්දියානු යුවතිය

'Met Gala' විලාසිතා දැක්ම කැලඹූ ඉන්දියානු යුවතිය

May 10, 2026   04:58 pm

මෙවර  Met Gala විලාසිතා දැක්ම සඳහා සහභාගී වූ ඉන්දීය නිරූපිකා භවිතා මන්ඩවාගේ විලාසිතාව සම්බන්ධයෙන් විලාසිතා ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

අතිශය විසිතුරු සහ දැවැන්ත ඇඳුම් නිර්මාණවලින් පිරුණු මෙට් ගාලා වේදිකාවේ, භවිතා පෙනී සිටියේ සිපර් එකක් සහිත ජැකට්ටුවකින් සහ සාමාන්‍ය ඩෙනිම් කලිසමකට සමාන ඇඳුමකිනි.

මුලින් එය ඉතා සරල පෙනුමක් ගත්තද, පසුව අනාවරණය වූයේ එම ඇඳුම ඩෙනිම් රෙදිවලින් නොව, ඩෙනිම් මෙන් පෙනෙන සේ මුද්‍රණය කරන ලද ඉතා සියුම් සීල්ක් මස්ලින් රෙද්දෙන් නිමවූවක් බවය.

මෙය සුප්‍රසිද්ධ 'චැනල්' (Chanel) සන්නාමයේ නිර්මාණයකි.

මෙම සරල බව ඇතැමෙක් අගය කළේ මෙට් ගාලා හි අතිරික්ත ප්‍රදර්ශනකාමීත්වයට එල්ල කළ නිහඬ අභියෝගයක් ලෙසිනි. එහෙත්, තවත් පිරිසක් චෝදනා කළේ ඉන්දියාව වැනි ප්‍රබල සංස්කෘතියක් නියෝජනය කරන අවස්ථාවක මෙවැනි සරල ඇඳුමක් තෝරා ගැනීමෙන් එම අවස්ථාවේ වැදගත්කම අවම වූ බවයි.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල තුළ මෙය ඉන්දීය නියෝජනය ගෝලීය වේදිකාවේ තුළ පහත් කිරීමක් ලෙස විවේචනයට ලක් විය.

26 හැවිරිදි භවිතා මන්ඩවාගේ කතාව සැබෑ විලාසිතා ලෝකයේ සුරංගනා කතාවකට සමානය. හයිද්‍රාබාද් හි උපත ලැබූ ඇය, 2024 වසරේදී නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ (NYU) වාස්තු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී අහඹු ලෙස නිරූපණ ක්ෂේත්‍රයට පිවිසියාය.

මිතුරෙකු සමඟ බිරියානි ආහාරයට ගැනීමට නිව්යෝර්ක් දුම්රිය ස්ථානයකට ගිය අවස්ථාවකදී විලාසිතා නියෝජිතයෙකුගේ ඇස ගැටීම ඇගේ ජීවිතය වෙනස් කළේය. 

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඇය Bottega Veneta, Dior සහ Chanel වැනි ලොව ප්‍රමුඛතම සන්නාමයන්හි නිරූපිකාවක බවට පත්වූවාය.

ක්ෂේත්‍රයේ කෙතරම් ඉහළට ගියද, භවිතා තවමත් ඇගේ මුල් අනන්‍යතාවය රැක ගැනීමට උත්සාහ කරයි.

"මම තාමත් කාස්ටිං වලට යන්නේ මගේ විශ්වවිද්‍යාල ටී-ෂර්ට් එකයි ඩෙනිමයි ඇඳගෙන. මගේ ඒජන්තවරයා ඒ ගැන මට විහිළු කරනවා," ඇය බ්‍රිතාන්‍ය වෝග් (Vogue) සඟරාවට පවසා තිබුණි.

මෙට් ගාලා හි ඇය ඇඳ සිටි ඇඳුමද ඇයව මුලින්ම හඳුනාගත් අවස්ථාවේ ඇය ඇඳ සිටි ඇඳුම් සිහිපත් කරන්නකි. ඇය පවසන්නේ එය තමාගේ අතීත මතකයන් ගෝලීය වේදිකාවට ගෙන ඒමක් බවයි.

විලාසිතා ලෝකය නිරන්තරයෙන් වෙනස් වුවද, භවිතා මන්ඩවා මේ වන විට ලෝකයේ අවධානය දිනාගෙන ඇත්තේ "වැඩි වෙහෙසක් නොදරා පවත්වාගන්නා ස්වාභාවික සුන්දරත්වය"  පිළිබඳ සංකේතයක් ලෙසිනි.

විවේචන මධ්‍යයේ වුවද, ඇය තම සරල බව තුළින් ගෝලීය විලාසිතා ලෝකයේ නව මාවතක් සනිටුහන් කරමින් සිටියි.