වියට්නාම ජනාධිපති දිවයිනට පැමිණෙයි

වියට්නාම ජනාධිපති දිවයිනට පැමිණෙයි

May 7, 2026   11:27 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සඳහා අද (7) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම්වරයාද වන ටෝ ලාම් ජනාධිපතිවරයා, 209 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සමග මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු රාජතාන්ත්‍රික නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී. 

එම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්වූහ.

ජනාධිපති ටෝ ලාම් සමග පැමිණි වියට්නාම දූත පිරිස අතර එරට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ඇතුළු ප්‍රමුඛ දේශපාලන නායකයෝ පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ සංචාරක නිතරව සිටි අතර, ඒ අනුව ඔහු මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට අයත් VN- 1 දරන ගුවන් යානයෙන් මෙලෙස කටුනායක වෙත පැමිණ තිබේ.

වියට්නාම ජනාධිපතිවරයා හෙට (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව ඇත.