ළමා රැකවරණ ගෝලීය ප්රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම 'UNICEF' අගයයි
May 7, 2026 05:48 pm
ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්රඥප්තියට පසුගිය මැයි 4 වැනිදා කැබිනට් අනුමැතිය හිමිවීම, ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගත් සන්ධිස්ථානීය තීරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි.
යුනිසෙෆ් ශ්‍රී ලංකා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම තීරණය ශ්‍රී ලංකාවේ ජාතික විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කරමින් ළමුන් සඳහා ආරක්ෂිත පවුල් පරිසරයක් තහවුරු කිරීමේ උත්සාහයන්ට වැදගත් පිටුබලයක් වන බවය.
දරුවන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා යුනිසෙෆ් වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කර ඇති අතර, ජාතික විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය සැකසීම, නේවාසික සත්කාර ආයතනවල ජාතික සංගණනය සහ පළාත් ක්‍රියාකාරී සැලසුම් සංවර්ධනය සඳහා ද සහාය ලබාදී තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසරෙන් පසු ආයතනගතව සිටින දරුවන්ගේ සංඛ්‍යාව සියයට 30කින් අඩු වී ඇති අතර, පසුගිය වසර පහ තුළ ළමුන් 6,000කට අධික පිරිසක් ආයතනගත වීම වළක්වා ඇති බවත්, ළමුන් 2,000කට ආසන්න පිරිසක් නැවත පවුල් සමඟ එක්කර ඇති බවත් යුනිසෙෆ් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ දරුවන් 8,000කට වැඩි පිරිසක් තවමත් නේවාසික රැකවරණ ආයතන තුළ ජීවත් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ දෙමාපියන් ජීවත්ව සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.
දරිද්‍රතාවය, ප්රචණ්ඩත්වය, අපයෝජනය, සමාජ අපකීර්තිය සහ ප්‍රජා මට්ටමේ සේවාවන්හි පවතින අඩුලුහුඩුකම් හේතුවෙන් මෙවැනි තත්ත්වයන් නිර්මාණය වන බව පෙන්වා දෙන යුනිසෙෆ්, අනවශ්‍ය මාපිය-දරු වෙන්කිරීම් වැළැක්වීම, පවුල් පාදක රැකවරණයට ප්‍රමුඛත්වය ලබාදීම සහ ආයතනගත කිරීම අවම කිරීම මෙම ගෝලීය ප්රඥප්තියේ ප්‍රධාන අරමුණු බව සඳහන් කරයි.
මෙම ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, සිද්ධි කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම සහ පවුල් සඳහා උපකාරක සේවා පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා රජය, පළාත් බලධාරීන් සහ සිවිල් සමාජය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් යුනිසෙෆ්වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

