කපිල චන්ද්‍රසේනට ඇප

කපිල චන්ද්‍රසේනට ඇප

May 5, 2026   12:20 pm

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය. 

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කෙරුණි.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුකරය ඉකුත් 28 වනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න මහතා විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි. 

එම ඇප ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් එදින විරෝධය පළ කළේය. 

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (05) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරනු ලැබීය.