අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුව මුල්වරට අද රැස්වෙයි
May 5, 2026 05:43 am
අලුත් අවුරුදු උත්සවයෙන් පසුව පාර්ලිමේන්තුව පළමුවරට අද (05) රැස්වීමට නියමිතව තිබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
අද සිට ලබන 8 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේ දී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියමයන් 4ක් අනුමත කර ගැනීමට නියමිතව තිබේ.
හෙට දිනයේ දී බේරාගැනීම, පුනරුත්ථාපනය, වස්තු භංගත්ව පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අනිද්දා දිනයේ දී ජාතික ගමනාගමන කොමිශන් සභා පනත යටතේ නියෝග සහ මෝටර් වාහන පනත යටතේ නියෝග අනුමත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
සිකුරාදා දිනයේ දී පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.
මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබදව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ (04) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.
එහිදී මෙවර පාර්ලිමේන්තු සතියේ දී භාණ්ඩාගාරයේ මුදල් සොරකම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට තීරණය වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කළේය.
