රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට
May 3, 2026 11:07 am
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා අද (03) උදෑසන දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් අද උදෑසන 10.20ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ- 288 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.
ඔවුන් පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර, කොළඹ ජාතික රෝහල සහ වෛද්‍ය විද්‍යාලය වෙත නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට ද නියමිතය.
