යේමන මුහුදු සීමාවේදී ඉන්ධන නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට
May 3, 2026 07:02 am
යේමන මුහුදු සීමාවට ඔබ්බෙන් වූ ඉන්ධන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
යෙමන වෙරළාරක්ෂක බළකාය සඳහන් කර ඇත්තේ එම්ටී යුරේකා නම් නෞකාව මෙලෙස පැහැර ගෙන ඇති බවත් එම නෞකාව සෝමාලියාව දෙසට ගමන් කරමින් තිබූ බවය.
නෞකාව කානා වරාය අසල ඒඩන් බොක්ක ප්‍රදේශයේදී මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලාගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.
පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී එය ටෝගෝ ධජය යටතේ යාත්‍රා කරමින් තිබී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පදනම් කරගත් සාජා නැව් සමාගමකට අයත් නෞකාවක් බවද එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා සිට දින 8තට පමණ පෙර පිටත් වී යෙමන වෙරළ තීරයේ අල් මුකල්ලා වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබූ බවත් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා හී වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ මෙම නෞකාව පැහැර ගැනීමත් සමග දින 10ක් තුළ සිදුවූ දෙවන ඉන්ධන නෞකාව පැහැර ගැනීම ලෙස මෙය සටහන් වන බවය.
මින් පෙර අප්‍රේල් 22 වැනි දින සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් මොගඩිෂු වෙත ඉන්ධන බැරල් 18,500ක් ප්‍රවාහනය කරමින් සිටි හොනර් 25 නම් නෞකාවක්ද පැහැරගනු ලැබීය.
තවද පසුගිය සති දෙක තුළ පමණක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගැනීම් හතරක් සිදුකර ඇතැයිද සෝමාලියාවේ පුලුල් වෙරළ තීරය මගින් මුහුදු කොල්ලකෑම් වේගයෙන් ව්‍යාප්ත වෙමින් බවතින බවද සමුද්‍ර ආරක්ෂක විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ 2011 වසරේ සිට පහත වැටෙමින් තිබූ සෝමාලි මුහුදු කොල්ලකෑම් 2023 අග භාගයේ සිට හවුත් කැරලිකරුවන් ඒඩන් බොක්ක සහ රතු මුහුදේ නැව්වලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට නැවත ඉහළ ගොස් ඇති බවය.
