යතුරුපැදි සංදර්ශන පැවැත් වූ තරුණයින් 22ක් අත්අඩංගුවට
May 2, 2026 02:32 pm
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආසන්නයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි සංදර්ශන පැවැත් වූ තරුණයින් 22ක්, එම යතුරුපැදි ද සමග කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින්ට බාධා වන ලෙස තරුණයින් කණ්ඩායමක් යතුරුපැදි සංදර්ශනයක් පවත්වන බවට කඩුවෙල පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ තරුණයින් වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එමෙන්ම පොලිස් භාරයට ගත් යතුරුපැදි අතර මෙරට ලියාපදිංචි නොකළ යතුරුපැදි දෙකක් ද තිබී හමු වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් 22 කඩුවෙල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවන් වන බව ද පොලීසිය පැවසීය.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇති අතර ලබන 05වනදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි යුතු බවය.
