මැදපෙරදිග යුද්ධය අමෙරිකාවේ ලාභදායීම ගුවන් සේවය වසා දමයි

මැදපෙරදිග යුද්ධය අමෙරිකාවේ ලාභදායීම ගුවන් සේවය වසා දමයි

May 2, 2026   09:42 am

අමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ ලාභදායී ගුවන් සේවයක් වන 'Spirit Airlines' අද (02) සිට සිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කර තිබේ.

සමාගම රජයෙන් ඩොලර් මිලියන 500ක මූල්‍ය ආධාරයක් අපේක්ෂා කළද, පවතින සංකීර්ණ මූල්‍ය ගැටලු හේතුවෙන් නියමිත වේලාවට එම ගනුදෙනුව අවසන් කිරීමට නොහැකි වී ඇති බව විදෙස් පුවත් පවසයි.

වාර්තා වන අන්දමට, ට්‍රම්ප් පරිපාලනය විසින් ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් යෝජනා කර තිබුණේ සමාගමේ කොටස්වලින් 90%ක අයිතිය රජයට පවරා ගැනීමේ කොන්දේසිය මතය.

කෙසේ වෙතත්, රජය තුළ පැවති මතභේද සහ සමාගමේ ඇතැම් ණය හිමියන් මෙම කොන්දේසිවලට එකඟ නොවීම හේතුවෙන් ගනුදෙනුව අසාර්ථක වී ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා ප්‍රකාශ කළේ, "අපට ස්පිරිට් සමාගමට උදව් කළ හැකි නම් අපි කරනවා, නමුත් රජයට ඉන් වාසියක් තිබිය යුතුයි. එය හොඳ ගනුදෙනුවක් නම් පමණක් අපි එය සිදු කරනවා," යනුවෙනි.

මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යාම,  2020 වසරේ සිට මේ දක්වා සමාගම ඩොලර් බිලියන 2.5කට වඩා පාඩු ලබා තිබීම, දැනට පවතින ණය බර ඩොලර් බිලියන 8.1ක් පමණ වීම මෙයට ප්‍රධාන හේතු ලෙස දැක්වීය හැකිය.

වසර දෙකක් ඇතුළත දෙවතාවක් බංකොලොත්භාවයෙන් ආරක්ෂා වීමේ අධිකරණ ක්‍රියාදාමයන්ට යොමු වීමට සමාගමට සිදු වූ සඳහන් වේ.

මෙම ගුවන් සේවය බිඳවැටීම ලාභදායී ගුවන් ගමන් අපේක්ෂා කරන මගීන්ට මෙන්ම ෆ්ලොරිඩා සහ ලාස් වේගාස් වැනි ප්‍රදේශවල සංචාරක කර්මාන්තයට දැඩි ලෙස බලපානු ඇත.

ගුවන් සේවා අතර පවතින තරගකාරිත්වය අඩුවීම නිසා ඉදිරියේදී ගුවන් ටිකට්පත් මිල ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා ඇත.

ස්පිරිට් ගුවන් සේවය මෙලෙස බිඳවැටීමත් සමඟ අතරමං වන මගීන්ට සහාය වීමට අනෙකුත් ගුවන් සේවා ඉදිරිපත් වී තිබේ.

විශේෂයෙන්ම, ස්පිරිට් ගුවන් සේවය සමඟ සෘජුව තරග කරන ගුවන් මාවත්වල ටිකට්පත් මිල ඉහළ යාම පාලනය කිරීමට 'මිල සීමාවන්' පැනවීමට American Airlines පියවර ගෙන තිබේ.

Frontier Airlines අවම මිල ගණන් යටතේ මගීන්ට ගමන් පහසුකම් සලසා දීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

සිකුරාදා රාත්‍රිය වන තෙක්ම සමාගම සිය ගුවන් ගමන් "සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වන" බව මගීන්ට දැනුම් දුන්නද, අවසාන මොහොතේ මූල්‍ය සහාය නොලැබීම නිසා මෙම හදිසි වැසීයාම සිදුව තිබේ. 

මෙය මෑත ඉතිහාසයේ ගුවන් සේවා ක්ෂේත්‍රය මුහුණ දුන් විශාලතම කඩාවැටීමක් ලෙස සැලකේ.

මෙම ගුවන් සේවය වැසී ගියහොත් සේවකයින් 17,000කට පමණ සිය රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව සමාගමේ නීතිඥ මාර්ෂල් හියුබ්නර් පෙන්වා දෙයි.