ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩුදුවයි

ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩුදුවයි

May 2, 2026   06:47 am

ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් අතර ඇතිව තිබෙන මත ගැටුම මධ්‍යයේ, ජර්මනියේ සිටින හමුදා භටයින් 5,000ක් ඉවත් කර ගැනීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි මාස 6ත් 12ත් අතර කාලයේදී මෙම තීරණය ක්‍රියාවට නැංවීමට ඔවුන් අපේක්ෂාකර ඇති බව වාර්තාවේ. 

නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පාර්නෙල් පවසා ඇත්තේ, මෙම නියෝගය ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගෙන් ලැබුණු බවය.

ඉරාන සාකච්ඡාකරුවන් විසින් අමෙරිකාව 'නින්දාවට' ලක්කර ඇති බවට මර්ස් විවේචනය කිරීමෙන් දිනකට පසුව අමෙරිකාව මෙම තීරණය ගෙන තිබීම සුවිශේෂීය.

එම ප්‍රකාශයට අප්‍රසාදය පළකළ අමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසා සිටියේ, ජර්මනියේ රඳවා සිටින අමෙරිකානු සෙබළු දහස් ගණනක් ඉන් ඉවත්කර ගැනීමට බලාපොරොත්තු වන බවය.

ජර්මනිය තුළ සැලකිය යුතු අමෙරිකානු හමුදාවන් සිටින අතර, පසුගිය දෙසැම්බර් වනවිට රට පුරා කඳවුරු සඳහා ක්‍රියාකාරී රාජකාරියේ භටයින් 36,000කට වැඩි පිරිසක් යොදවා ඇත.

මේ අතර ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන්ද අමෙරිකානු හමුදා සෙබළු ඉවත්කර ගැනීමටද ට්‍රම්ප් යෝජනා කර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය අත්පත්කරගැනීමේ මෙහෙයුම්වලට නේටෝ සංවිධානය සහයෝගය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ට්‍රම්ප් මේ වනවිට මිත්‍ර පාක්ෂිකයින්ට සිය දැඩි අප්‍රසාදය පළකරමින් සිටින අතරවාරියේ මෙම තීරණ ක්‍රියාවට නංවනු ලබයි.