කිසිදු දේශපාලන පක්ෂයක් නොමැතිව පැවැත්වූ මැයි රැලිය
May 1, 2026 10:07 pm
කිසිදු දේශපාලන පක්ෂයක මැදිහත්වීමකින් තොරව ප්‍රධානතම ආහාර නිෂ්පාදකයින් විසින් සංවිධානය කළ මැයි දින රැලියක් අද (01) කැකිරාව නගරයේදී පැවැත්විණි.
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මගින් සංවිධානය කළ මෙම රැලිය සඳහා ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් 8ක දිස්ත්‍රික්ක 21ක් නියෝජනය කරමින් රැසක් එක්ව තිබුණි.
අද පස්වරු 1.30ට පමණ කැකිරාව කුඹුක් සෙවණ ආසන්නයෙන් ආරම්භ වූ මැයි දින පෙලපාලිය, දඹුල්ල - අනුරාධපුර ප්‍රධාන මාර්ගය ඔස්සේ කැකිරාව මහජන ක්‍රීඩාංගනය වෙත ළඟා විය.
මෙහිදී අදහස් දැක්වූ එහි සභාපති ටෙරන්ස් ගාමිණී මහතා පැවසුවේ වසර 40කට අධික කාලයක් පුරාවට රට පාලනය කළ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ආහාර නිෂ්පාදනය කරන ජනතාව ණය බරින් මිරිකි සිටින බවය. එමෙන්ම දේශපාලනයෙන් ඔබ්බට ගිය සැබෑ ජනතාවාදී ක්‍රම වෙනසක අවශ්‍යතාවයද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
වන අලි තර්ජනය, ඉඩම් ගැටලු, පොහොර අර්බුදය සහ කෘෂි නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබීම වැනි ගැටලුවලට වහා විසඳුම් ඉල්ලා සිටි ඔවුන් එහිදී 2026 මැයි දින ප්‍රකාශනය හරහා යෝජනා 14ක් ද ඉදිරිපත් කළේය.
