කම්කරු දිනය වෙනුවෙන් කොළඹ ඇතුළුව රටපුරා මැයි රැලි රැසක්

කම්කරු දිනය වෙනුවෙන් කොළඹ ඇතුළුව රටපුරා මැයි රැලි රැසක්

May 1, 2026   07:44 am

අදට (1) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මෙරට දේශපාලන පක්ෂ රැසක් සිය කටයුතු සූදානම් කර ඇති අතර, ඒ යටතේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මැයි රැලි කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගය, මෙවර මැයි රැලි 21ක් දිස්ත්‍රික්ක 21කදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළියේ සහ මහරගම පැවැත්වෙන රැලි සඳහා එක්වීමට නියමිතය.

සමගි ජන බලවේගයේ මැයි දින රැලිය මෙවර මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම්කර ඇත.

සර්වජන බලය සංවිධාන කරන මැයි දින රැලිය පැවැත්වෙන්නේ කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදීය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේ පවත්වන අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය මැයි රැලිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අතර අද පැවැත්වෙන කම්කරු දින පෙළපාලි හා රැළි වෙනුවෙන් කොළඹ නගරය හා අනෙකුත් නගර කේන්ද්‍ර කරගනිමින් පොලීසිය විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.